Monday, December 26, 2016

මිලින වූ කැකුළු මල ( සත්‍ය සිදු වීමකි )



උඳුවප් මහේ හීතල හරියට කටු අනින්නා වගේ. ගස් වැල් වල අතු, ඉති,මල්, කොල උඩ වැටිච්ච පිණි බිංදු ඉර එළියට දිළිසෙනව. මීදුමෙන් වැහුණු වටපිටාවෙ වෙනද වගේම කුරුළු ගීත ඇහෙනව.

හැමදාම මේ වෙද්දි ඇහැරගෙන, අම්මගෙ උණුහුමට තුරුළු වෙලා ආදරේ හොයන "පහන්" අදනම් තාමත් නිදි. උඳුවප් හීතල පහන්ට ගාණක් නෑ, කුරුළු ගීත ඇහෙන්නෙත් නෑ, අම්මගෙ උණුහුම හොයන්නෙත් නෑ.

මේ පහන්ගෙ කතාව.

පහන් මේ ලෝකෙට ආවෙ මිට අවුරුදු තුන හමාරකට විතර කලියෙන්. එදා පහන්ගෙ අම්ම, තාත්ත වගේම දෙපැත්තෙම ආච්චිල සීයල, නෑදෑයො හැමෝම ගොඩක් සතුටු උනා. පහන්ගෙ  හිනාව මුළු ගෙදරම එලිය කලා. දවසින් දවස පහන් ටික ටික වැඩෙනකොට, බහ තෝරනකොට, හැමෝම පහන්ට තව තවත් ආදරය කලා. හැමෝගෙම හුරතලා උනේ පහන්. අඩුම තරමෙ එයාගෙ අම්මට තාත්තට එයාව වඩා ගන්නවත් නෑ, පහන්ට  කවන්න, නාවන්න, හුරතල් කරන්න නෑදෑයො ගොඩක් උන්න.


හැමෝගෙම ආදරය මැද්දෙ පුන්චි පවුලට එලිය ගෙනාව පහන් දවසක් හිටි හැටියේ එක පාරටම අසනිප උනා. වෙනද අම්මට තුරුල් වෙලා ආසාවෙන් අම්මගෙ කිරි බීපු දරුව කිරි ටිකවත් බොන්නෙ නෑ. ආරක්ෂක අංශයේ සේවය කරපු පහන්ගෙ පියාට ඇමතුමක් දුන්න පහන්ගෙ අම්ම පහන්ව ඉක්මණින්ම රෝහලට ගෙන ගියා.

පහන්ව පරික්ක්ෂා කරපු වෛද්‍ය වරුන් දරුවව කොලඹ ජාතික රෝහලට ඇතුළත් කරන්න පහන්ගෙ වැඩිහිටියන්ට උපදෙස් දුන්න. ජාතික රෝහලේදි පහන්ව පරීක්ෂා කරපු වෛද්‍යවරුන් කියපු දෙයින් පහන්ගෙ දෙමාපියන් වගේම, නැදෑයින් හැමෝමත් ලොකු කම්පනයකට පත් උනා. පහන්ගෙ හදවතේ සිදුරක්. මුළු ගෙදරටම එලිය ගෙනාපු පුන්චි එකා ලෙඩ ඇඳේ ඉන්නකොට කොහොම වාව ගන්නද ? පහන්ගෙ අම්ම තාත්ත, නෑදෑයො හැමෝම කම්පාවෙන්. පහන්ට අවශ්‍ය ප්‍රතිකාර දෙන අතරෙ, දින ගණනාවක් තිස්සෙ පරීක්ෂණ රාශියක් සිදු උනා. ඉන් පස්සෙ වෛද්‍ය වරුන් ඔවුන්ගේ නිගමනය පහන්ගේ දෙමාපියන්ට දැනුම් දුන්නා.

හදවතේ කුඩා සිදුරක් තිබුණත්, එයට කලබල විය යුතු නැති බවත්, එය ටිකෙන් ටික වැසී යන මට්ටමේ, අවදානම ඉතාම අඩු එකක් බවත් වෛද්‍යවරුන් කිවුවා. පහන්ව ආයෙම ගෙදර එක්කගෙන යන්න පුළුවන් බවත්, නියමිත දින වලදී වෛද්‍ය සායන වලට රැගෙන එන ලෙසත් ඔවුන් පහන්ගෙ දෙමාපියන්ට දැනුම් දුන්නා.

පහන්ව ගෙදරට එක්කගෙන ආපු දෙමාපියන්ට, ඔවුන්ගෙ හිතේ තිබුණ බිය අඩු වෙලා තිබුණෙ නෑ. පහන්ගෙ රෝගී තත්ත්වය ගැන ඔවුන් පසු උනේ ලොකු බයකින්, පහන් ක්‍රමයෙන් සුව වෙන බව වෛද්‍ය වරුන් කීවත්, පහන්ගෙ දෙමාපියන්ගෙ හිතේ ඇති උන බිය නිසා ඔවුන් එය සම්පූර්ණයෙන් විශ්වාස කලේ නෑ.

පහන්ව ඉක්මණුන් සුව කර ගන්න විදියක් ගැන ඔවුන් දිව රෑ නැතුව කල්පනා කලා. පහන් ව නැවතත් පෞද්ගලික රෝහලක වෛද්‍ය වරයෙක් ලඟට රැගෙන යන්න ඔවුන් තීරණය කලා.

ඔවුන් තෝරා ගත් විශේෂඥ වෛද්‍ය වරයා, රජයේ රෝහලකත් සෙවය කරන කෙනෙක්.පහන් ව පරීක්ෂා කරපු වෛද්‍ය වරයා , ශල්‍යකර්මයක් කරන්න රුපියල් ලක්ෂ නවයක මුදලක් අවශ්‍ය බව පහන්ගේ දෙමාපියන්ට දැනුම් දුන්නා.

ඉන් පස්සෙ පුන්චි පැටියගෙ දෙමාපියන් කල්පනා කලේ මේ මුදල හොයා ගන්න විදිය. තිබුණු කණ කර සේරම විකුණල, බැංකු පොත් වල තිබුණු හැම සතයක්ම අරගෙන, නෑදෑයන්ගෙනුත් උදවු ඇතුව කොහොම හරි අවශ්‍ය මුදල හොයා ගත්ත.

ශල්‍යකර්මයට දින යොදා ගත්තු පහන්ගෙ දෙමාපියන් නියමිත දිනයෙදි පහන්ව රෝහලට ඇතුලත් කරන්න එක්කගෙන ගියා. ලස්සන පොඩි ඇඳුමක් ඇඳල, පොඩි සපත්තු දෙකකුත් දාගෙන චූටි කුමාරයෙක් වගේ පහන් හරිම හුරුබුහුටියි. තාත්ත පහන්ව වඩාගෙන වාහනේට නැග්ග.  අම්මයි, සීයයි, ආච්චියි දෙන්නත් වාහනේ පිටිපස්සෙ. තමන්ට රෝගයක් තිබෙන බවක්වත්, ඒ රෝගය මොකක්ද කියලවත් පහන් දැනගෙන හිටියෙ නෑ.

තාත්තත් එක්ක හුරතල් වෙවී රෝහලට ආපු පහන්, අම්මත් එක්ක රෝහලේ නැවතුනා. දවස් කීපයක් තිස්සෙ කරපු පරීක්ෂණ රාශියකින් පස්සෙ පහන්ව ශල්‍යකර්මයට ගන්න වෙලාව ආව. අම්මගෙ, තාත්තගෙ, ආච්චිගෙ, සීයගෙ ඇස් වල කඳුළු. මේ කිසිවක් නොතේරෙන පුන්චි පැටිය අම්මත් එක්ක විශේෂඥ වෛද්‍යවරයා ලඟට ගියා. පහන්ව නැවතත් පරීක්ෂා කරල, ශ්ල්‍යකර්මයට සූදානම් කලා.

පැය කීපයක සැත්කමකින් පස්සෙ එහෙන් මෙහෙන් වයර්, බට සවි කරපු පහන්ව දැක ගන්නට පහන්ගෙ දෙමාපියන්ට නෑදෑයින්ට අවස්ථාව ලැබුනා. නිසොල්මනේ ඉන්න පුන්චි පැටිය දැක්කම හිත වාව ගන්න බැරුව හැම කෙනෙකුගෙම ඇස් කඳුළින් තෙත් උනා.
නියමිත වෙලාවට පහන්ට සිහිය එනකල් හැමෝම බලන් උන්න.

නියමිත් පැය ගණන ගෙවිල යද්දි හැම කෙනාම නොඉවසිල්ලෙන්. පහන් ඇස් අරිනකල් කාටවත් සැනසිල්ලක් නෑ. ඒත් පහන් තවමත් නින්දේ. වෛද්‍යවරයා පහන්ව පරීක්ෂා කලා. ඔහු කලබල වෙලා. ඔවුන් පහන්ට නැවතත් ප්‍රතිකාර දෙනව. හැම කෙනාම හිතේ බයෙන්. ශල්‍යාගාරය තුල කලබලයක්.

තවත් පැයක් පමණ ගත උනා. ඒ කාලය හැමෝටම දැනුණෙ දින ගණනාවක් ගත උනා වගේ.  අවසානයේදි වෛද්‍යවරයා ශල්‍යාගාරයෙන් පිටතට ඇවිත් පහන්ගෙ පියාට කතා කලා. ඔහුට යමක් පැහැදිලි කලා. පහන්ගෙ පියා සිහිසුන්ව ඇද වැටුණා.

පහන් යන්න ගිහින්. ආයෙ නොඑන්නම යන්න ගිහින්. ආයෙ කවදාවත් පහන් හිනා වෙන්නෙ නෑ, අඬන්නෙත් නෑ, අම්මගෙ තුරුළට එන්නෙත් නෑ, තාත්ත එක්ක බයිසිකල් පදින්නෙත් නෑ. පුන්චි පැටිය යන්නම ගිහින්.

සුවපත් කර ගන්න රෝහලට එක්ක ගිය පහන්, ගෙදර ආවෙ පුන්චි පෙට්ටියක සැතපිලා. ගෙදර ඇවිත් දවස් දෙකකට පස්සෙ මූසල හැන්දෑවක, පහන් හැමෝම අඬවල ආයෙ නො එන්නම ගෙදරින් යන්න ගියා. අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙලා, නෑදෑයින්ගෙන් ඈත් වෙලා, සෙල්ලම් බඩු දිහාවත් නොබලම, සුදු වැලි උඩින් පුන්චි පහන් යන්න ගියෙ ආයෙ කවදාවත්ම ආපහු එන්න නෙමෙයි.

පහන්ගෙ අම්ම තාත්ත මුලින්ම වෛද්‍යවරුන් දීපු නිගමනය පිලි ගත්තනම්, තව ටිකක් ඉවසුවනම්, පහන්ව හොඳින් රැක බලාගෙන ආරක්ෂා කලානම්, හදිසි ශල්‍යකර්මයකට නොයා වෛද්‍ය මතය පිලිගත්තනම්,  පෞද්ගලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා පහන්ගෙ දෙමාපියන්ට කරුණු පැහැදිලි කරල, ශල්‍යකර්මයක් අවශ්‍ය නැති බව ඔවුන්ට තේරුම් කලානම් , පුන්චි පැටිය තවමත් ජීවත් වෙනව.

( සත්‍ය සිදු වීමකි. නම් ගම් මනඃකල්පිතය )

Wednesday, December 21, 2016

පිරිත් නූල

ඇන්ජලෝ මැතිව්ස් සම්බන්ධයෙන් පහු ගිය දිනවල පිරිත් නූලක් අරභයා පෝස්ටුවක් දුටු විට ඇති වූයේ විමතියකි. වරද මැතිව්ස් පිරිත් නූල නොඇල්ලීමය. නිහතමානී නොවේයැයි මැතිව්ස් දොස් පවරා තිබුණි. ඔහු පෞද්ගලිකව කුමන ගති ගුණ ඇති පුද්ගලයෙකුදැයි මම නොදනිමි. නමුත් ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායකයා බවත්, තුන් ඉරියවු ක්‍රීඩකයෙකු සේම, ඔහු කිතුනු බැතිමතෙකු බවත් මම දනිමි. මේ කතා බහට ඒ හොඳටම ප්‍රමාණවත්ය.

තමන්ගේ ආගම, විශ්වාසය අනුව නීති විරෝධී නොවන අයුරින් ක්‍රියා කිරීමට නිදහස ඔහුට පමණක් නොව මේ රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ ව්‍යවස්ථාවෙන් තහවුරු කර දී ඇත. පිරිත් යනු බෞද්ධ පිළිවෙතකි. බෞද්ධ හෝ අබෞද්ධ වේවා, කෙනෙකු පිරිත් ශ්‍රවණය කිරීම, පිරිත් නූල් ගැට ගැසීම එම පුද්ගලයාට පෞද්ගලික වන තීරණයකි. බෞද්ධ දර්ශනය තුල බලහත්කාරයෙන් මිනිසුන් ලවා යමක් කරවීමක් නැත. එවැන්නක් බුදුන් විසින් කොතැනකවත් දේශනා කර නැත.


පිරිත් නූල අල්ලාගෙන දෑත් පහළ දමාගෙන සිටින්නට නොහැකිය, අනෙකුත් අය හා සමානව අත් උඩට එසවිය යුතුය, දෑත් එකතු කල යුතුය, වන්දනා කිරීමට සිදුවෙයි, නමුත් එය ඔහුගේ විශ්වාසයට පටහැනිය. තමන් විශ්වාස කරන දහමට පිටින් යමක් කරන්නැයි බල කිරීමටද, එසේ නොකරන විට එම තැනත්තාට අවමන් කිරීමටද අපට අයිතියක් නැත.

තුවාන් මොහොමඩ් දිල්ශාන් , තිලකරත්න දිල්ශාන් වී බෞද්ධයෙකු බවට පත්වීම මේ හා පටලවා ගත යුතු නැති අතර, එය ටී.එම්. දිල්ශාන්ට පෞද්ගලික වන තීරණයක් පමණක්මය.

නමුත් ඇන්ජලෝ මැතිව්ස් පිරිත් නූල අල්ලාගෙන නොසිටීම අපේ රටේ බංකොලොත් පේජ් කාරයින්ට හොඳ අවියකි. බහුතරයක් නාමික සිංහල බෞද්ධයන් අතරට ගෙන යා හැකි කුණු ප්‍රවෘත්තියකි. කතෝලිකයකු වන මැතිව්ස්, බෞද්ධ වත් පිළිවෙත් ඉටු කරනා තැන සිටීම අගය කරමින් පෝස්ටුවක් පළ කරන්නටද හැකියාව තිබුනත්, එවැන්නක් මාර්කට් කිරීම අපහසුය.

කණ්ඩායමේ බෞද්ධ හෝ වෙනත් ආගමක ක්‍රීඩකයින් තමන් නොඅදහන/නොපිළිපදින/විශ්වාස නොකරන ආගමක වත් පිළිවෙත් ඉටු කරන තැනදී සිටින ආකාරය කොහේවත් පළ වන්නේ නැත. ( එවැනි සර්ව ආගමික වත් පිළිවෙත් කරනවාදැයි මට අදහසක් නැත. ) එවැනි තැනකදී බෞද්ධ ක්‍රීඩකයෙකු ඉවත බලාගෙන සිටියේනම් , ඔය පේජ් කාරයින්ගේ පෝස්ටුව වන්නේ " හැට්ස් ඕෆ් _____, පල්ලියේ දණ නොගැසූ උඹ අපිට ආඩම්බරයකි. උඹ අපිට ජාතික වීරයෙකි" වැනි ජාත්‍යාලයෙන් ඔද වැඩුණු පෝස්ටුය. එම තැනැත්තා නිහතමානී නැතැයි ඔහුට කිසිවෙක් නොබනිනු ඇත.

Saturday, December 17, 2016

කපුටු සංදේශය I - ( කොලඹ ගමන )

උදයෙන්ම කපුටා
නැඟිට බැලුවේය වට පිටා
දවස අරඹන්ටා
යන්ට ඕනෑ කෑම කන්ටා


සද්දෙට "'කාක්" කියමින්
ඉගිලගෙන යන විටදි ටවුමෙන්
හැප්පෙන්නව තව පොඩ්ඩෙන්
උඩින් ආ බස් එකේ හයියෙන්

බය උන පාර කපුටා
හැරුනාය ඉගෙලෙන්ට වමටා
වමෙනුත් බැරිය යන්ටා
ආව ත්‍රීවීලයක් පෙරටා

මේ මොකද සද්දේ
අතන අර මහ ටවුම මැද්දේ
වගේ නොවැ යුද්දේ
කිට්ටු කෙරුවා කපුටු නයිදේ

කැම්පස් ළමයි රොත්තක්
මෙතන වහගෙන පාරෙ පැත්තක්
සයිටම් එපා කිවුවත්
ඒකෙ ඉන්නව මුන්ගෙ එවුනුත්

එතකොට මෙතන මෙපිරිස්
මොකටද මේ නඟන්නේ දොස්
ඇහුව දැන ගනු වස්
රකින්නලු ඉගෙනීම නිදහස්

මම යනව යන්ටා
බෑ මෙවුව මගෙ හිතට ගන්ටා
යන විට ඉගිල උඩටා
සද්දෙ ඇහෙනව "එපා එක්ටා"

අර ගොල්ලන්ගෙ ගිවිසුම්
ඇත්ත අපි දැන උන්න බවනම්
මුන් ඇවිත් අලුතෙන්
දෙන්න යනවලු තවත් වැඩියෙන්

ඇයි එහෙම නරකද
අහන විටදිම කපුට ඇද පැද
යකෝ තොට පිස්සුද
ඇහුව කොල්ලෙක් තටුවකින් ඇද

උන් මෙහෙට ආවම
අඩුවෙන් වැඩට ගත්තම
අපේ අඹු දරු හැම
රකින්නේ විකුණලද තොගෙ හම

මෙතන තව උන්නොත්
ගලවයි මගෙ පිහාටුත්
ඌටම කියා ගත්
වෙන දිහාවක කපුට ඉගිලෙත්

අපබ්‍රංසම දැකලා
හිස කකියනව කියලා
බෙහෙත් ගන්නට හිතලා
ගියා ඉස්පිරිතාලෙ බලලා

ලෙඩ මිනිසුන්ගෙ කෙඳිරිය
ඇහිල කපුටට දෙලොව රත් විය
එතැන හෙදි සොයුරිය
කිවුව දොස්තර නො එන විත්තිය

අයිතිය දිනනු වස්
දොස්තර තුමා ඇත ගොස්
නොකියන්න මට දොස්
ටිකක් හයියෙන් කිවුව හෙදි Sis

බෙහෙත් ගන්නට පෝලිමක් ඇත
මැදින් පැන එහි ආ අයෙක් ඇත
නෝට්ටුව මිට මෙලෙව්වා අත
ඔහුට පෝලිම උවමනා නැත

බඩගින්න වැඩි විය
කන්නට යමක් ඕනැය
ටවුමම මතක් විය
කපුටු තෙම ටවුමට පියෑඹිය

හැම තැන ගොඩ ගැසුණු
කුණු ඇත දසත විසිරුණු
කන්නට මෙහෙව් කුණු
කපුටො පිට රටකිනුත් ගෙන්වනූ

ආවෙ සැප රියකී
කවුළුවෙන් දික් උනේ අතකී
දැම්මෙ කුණු ගොඩකී
දාපු සැනෙකින් ගියා කැරකී

සප්පායම්ව හොඳ හැටියට කපුටාණ
යන්නට හිතුව පුරවර සිරි නරඹන්න
වයසක පිරිමි රොත්තක් කෑ ගසමින්න
මොකදැයි කියා හිතුනා දැනගෙන එන්න

වයසක් වැඩක් නෑ ගන්නට කර කාරේ
වැඩි විය පැමිනිලානම් එය ඇති රාලේ
නාකිත් රෙද්ද උස්සාගෙන මහ පාරේ
කෑ මොර දෙන්නෙ ලැජ්ජා නැතුවද රාලේ

කැරකුණි හුළං පාරට
ගාලු මුවදොර පැත්තට
නැවතුනි පොඩ්ඩකට
හැදෙන නත්තල් ගහ බලන්නට

ගහ නවතන්න කිවුවලු කාදිනල් තුමා
බෙදනුව මුදල් දිලිඳුන් හට නොවී පමා
බාගෙට හදපු ගහ නැවතූවත් එතුමා
වියදම ඉතින් ආපහු ගන්නේ කොහොමා

ආයෙත් හදන්ටලු දැන් අවුලක් නෑලූ
දැන් මේ රටේ දුප්පත් කිසිවෙක් නෑලූ
පල්ලියෙ කියල සතයක් නෑ නොවැ යාළු
තිබුණානම් දෙනව එතුමා කිවුවාලූ

හැන්දෑ වෙලා දැන්නම් බෑ දුර යන්න
කලුවර නිසා ඕනෑ දැන් සැතපෙන්න
අතු ඉති පතර බෝ අත්තක ලැග ගන්න
කපුටා ඉගිලුනා බලමින් මරදාන

හරි බරි ගැසුණි බෝ අත්තක සැපේයා
නිදනා අතර තුර හෙට ගැන සිතේයා
කොඳුරන හඬක් ගස් පල්ලෙන් ඇසේයා
රෑ සමනලිය බමරෙකු හා වෙලේයා

-- මතු සම්බන්ධයි

වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානේ ( සත්‍ය සිදු වීමකි )


උදේ පාන්දර පහමාර වෙද්දි අපි අනුරාධපුරේ. කිරි ආහාර පූජාව හය හමාරට.
" ජය සිරිමා බෝධිය ලඟම පාර්ක් එකේ වාහනේ දාමු. එතකොට ලේසියි " අජිත් අයිය කිවුව.

පැය දෙකහමාරක් විතර වාහනේ ඉඳගෙනම ආව හන්ද කට්ටිය වාහනෙන් බැස්සෙ අත පයේ හිරි ඇරගන්ටත් එක්ක. පොඩ්ඩට අලුත් ඇඳුමක් හෙම අන්දවගෙන, පැනල් රෙද්දෙන් දරුවගෙ ඔලුවත් වහගෙන මමයි බිරිඳයි වාහනෙන් බැස්සෙ අන්තිමටම.

" ඔය නෝනල මහත්තයල වාහනේ පාර්ක් එක ඇතුලටම දානකොටම අපියි ඔයාලට කතා කලේ, එන්න එන්න මල් ගන්න, කිරි ආහාර අරන් යන්න, ඖෂධ පූජාවට ඖෂධ ගන්න, වෙන තැනකට යන්න එපා, මෙතනට එන්න, අපිනෙ වාහනෙන් බහිනව දැක්ක ගමන් මුලින්ම කතා කලේ "

පාර්ක් එක කෙලවරේ මල් කඩේකින් අපිව ආදරෙන් පිලි ගත්ත. පේලියට තියෙන මල් කඩ වල පිරිස පාර්ක් එක ඇතුලට වාහනයක් එද්දිම ඒක තමන්ට අයිති කරං ඉවරයි. ගෙදරින් අරන් ආපු මල් ටික තියන්න වට්ටියකුයි, ඖෂද පූජාවට ඖෂධ ඩිංගයි, සුදු නෙලුම් මල් දහයයි , අටසිය පණහක් වගේ සුළු මුදලකට ගන්න පුළුවන්, වට්ටිය ආපහු දීමේ පොරොන්දුව පිට. කොහොමත් ඉතින් අර ඖෂධ ටික එහෙමත් අනිත් පැත්තෙන් කඩේටම ආයෙ එනවනෙ.

" අම්මෙ අපි ගෙනාපු මල් කවරෙ ආපහු ඉල්ල ගන්න"
හීං සීරුවෙ මල් කඩේ මුදලාලි තැන අපි ගෙනාව මල් කවරෙ බිත්තියෙ එල්ල ගන්නකොට මම අම්මට මතක් කලා.

පූජාවට ලෑස්ති වෙලා, කට්ටියත් එක්ක උඩ මළුවට යද්දි උඩමළුවෙ එක තැනක එක පොදියට සෙනඟ පොර කනව. මොකද කින්ද මන්ද කියල කවුරුවත් දන්නෙ නෑ. දරුවත් එක්ක තෙරපෙන්න බැරි හන්ද අනිත් අයට පෝලිමේ එන්න ඇරල මම එලියෙන් ඇවිත් දොරකඩ උන්න. ටික වෙලාවකින් හතිමුණින් දාගෙන අපේ පිරිස එනව.

" මොකද එතන තෙරපෙන්නෙ ? " මම ඇහුව.
" මල් පූජ කරනවනෙ " ..
" හ්ම්ම්, එහෙමද , දැන් කොහෙටද මේ පූජාව දෙන්නෙ ? " මම ඇහුව.
" අර එහා පැත්තෙ " අම්ම කිවුව.
" පූජා වට්ටියට පඬුරු තිබ්බද ? " අම්ම අහනව.
" නෑ "
" එහෙනම් මේක තියන්න " අම්ම මුදල් නෝට්ටුවක් වටිටියෙ උඩින් තිබ්බ.

පූජාවත් අරගෙන එතනට ගියාම ජය සිරිමා බෝ මළුවෙ කපු රාළල දෙන්නෙක්. නෙළුම් මල් පිපෙයි, පිට කසයි වගේ. මොකක්දෝ නොගැලපීමක් මට දැණුනා.

කපු උන්නැහේ පූජා වටිටි වලට ඉහළින් අත දාල උඩම තියෙන මුදල් නෝට්ටු ටික හනික ඩැහැ ගත්තෙ ගිජු ලිහිණියෙක් ගොදුරක් ඩැහැ ගන්නව වගේ. මල් ටික මල් ආසනේට හලා දාපු කපු උන්නැහේ, ඖෂධ භාජනේ ගෝලයට දුන්නම ගෝලය ඒක පරෙස්සමින් අරගෙන ඊට කලින් පූජා වට්ටි වල ඖෂධ භාජනත් එක්ක එකම තැනකින් තිබ්බෙ, පහසුවට වෙන්නැති මයෙ හිතේ.

අනිත් අතට කපු උන්නැහේ මොනවදෝ අළු වගයකින් අපේ නළලෙ මොට්ටුවකුත් තිබ්බ. කපු උන්නැහේ දීපු එවරෙඩි පිරිත් නූල් බෝලෙත් අරං අම්මගෙ බෑග් එකට දා ගත්ත. එතනින් පහල මළුවට බහින ගමන් මගෙයි, පොඩ්ඩගෙයි නළලෙ ගාපුව හීං සීරුවෙ පිහදා ගත්ත. පහළ මළුවට ඇවිත් බුදුන් වැඳපු අපි රුවන් වැලි මහා සෑයට යන්න පිටත් උනා.

රුවන් වැලි මහා සෑ බිමට ඇතුල් වෙන තැනම, ආලෝක පූජාව සඳහා මිල දර්ශනය පුවරුවක සටහන් කරල . බැතිමතුන්ගෙ පහසුවට මිල ගණන් යකඩ කටිනුත් කියනව ඇහුණා. ආනිසංස විදියට දිවැස් ලැබෙන බවත් කියවුණා. දිවැස් ලබා ගැනීමේ පැකේජ් විවිධ මිල ගණන් වලට තිබුණා.

රුවන් වැලි සෑයෙන් පිටත් වෙලා, හුළං රැල්ලක් වැදි වැදි උදේට කන්න හිතාගෙන බසවක්කුලම අයිනෙ පැරණි නටඹුන් බිමක් අසල වාහනේ නවත්තපු අපි වාහනෙන් බිමට බහිනකොටම මට හිතුණෙ අපේ රටේ මිනිස්සු හරි වෙනස් නේද කියල . වටපිටාවෙ හැම තැනම විසි කරල දාල ගිහින් තිබුණ පොලිතීන් කවර, හලල ගිහින් තිබුන කෑම දැක්කම අපේ වෙනස යස අගේට තේරෙනව ඕන කෙනෙකුට.

උදේට කාල බීල ඉවර වෙලා ථූපාරාමය, ලංකාරාමය, අභයගිරිය වැඳගෙන, සඳකඩ පහණ, කුට්ටම් පොකුණ බලාගෙන ඊ ලඟට අපි ආවෙ ජේතවනාරාමයට. ඔය එන අතරෙ හැම පූජනීය ස්ථානයකම ආලෝක පූජාවෙන් දිවැස් ලබා ගන්න අවශ්‍ය කරන මිල දර්ශනය දකින්න, අහන්න පුළුවන් උනා. ටිකෙන් ටික මිල අඩුවෙන බවක් දැක්කම මට හිතුනෙම ලැබෙන දිවැස් වල මොකක් හරි අඩුවකුත් ඇති නේද කියලයි.

වන්දනාව ටිකකට නවත්තල දවල් කෑම කාපු අපි ටිකක් විවේකයෙන් ඉඳල මිරිසවැටිය වඳින්න පිටත් උනා. මිරිසවැටියට පය තියනකොටම ඇහුණෙත් ආලෝක පූජාවෙ ආනිසංස සහ ඊට අදාළ මිල ගණන්. ඊට පස්සෙ හැමෝටම දොහොත් මුදුන් දී ගන්න කියල, මිරිසවැටිය වඳින ගාථාව යකඩ කටින් කිවුවා. ඊට පස්සෙ බිම දණ ගහලා වඳින්න කියලත් ටිකක් සැරෙන් කිවුවම ශ්‍රද්ධාව උතුරලා පිටාර යනව වගෙත් දැනුණා. වන්දනා කරල ආපහු එනකොට අර යකඩ කටින් උපදෙස් දීපු මහත්තය, චෛත්‍ය මළුවට ඇතුල් වෙන තැන දාල ගිය සෙරෙප්පු ගොඩක් අරන් ගිහින් එලියට විසි කරනව බැන බැන.
දැන් ටික ටික හවස් වේගෙන එන නිසා අපි තීරණය කලා ඉසුරුමුණියත් බලාගෙනම ගෙදර යන්න පිටත් වෙන්න. අපේ පිරිස ඉසුරුමුණියට ඇතුල් වෙනකොටම එතන දොරටුවෙ කහ සිවුරකින් බැබළෙන පූජනීය හිමි නමක් ටිකට් පොතක් තියාගෙන සම්මාදම් සල්ලි එකතු කරනව. බුදුන් දේශනා කරපු දස අකැප වස්තු ගැන, දහම් පාසලේදි උගන්නපු පාඩම මට මතක් උනා.

ඔය අව් අස්සෙ එතන උන්න බඩ මහත පොලිස් නිළධාරිණිය අපේ නංගිව නැවැත්තුව ඇතුලට යන්න දෙන්න බෑ කියල. මොකද ප්‍රශ්නෙ කියල ඇහුවම ඇඳුම අසංවරයි කියාපි. උදේ ඉඳන් ජය සිරිමා බෝධියට, රුවන්වැලි සෑයට, ථූපාරාමයට, ලංකාරාමයට, අභයගිරියට, ජේතවනාරාමයට, මිරිසවැටියට අවුලක් නොවුණ ඇඳුම ඉසුරුමුණියට අසංවර මොකද කියල මම ඇහුව. පොලිස් නෝන කිවුවෙ දණහිස් පොල්කටු දෙක යාන්තමින් පේන නිසා අසංවරයි කියල. එතන බැබලි බැබලි සම්මාදම් එකතු කරපු හිමි නමත් ඒක අනුමත කලා.

එක පාරටම පොලිස් නෝනගෙ දණිස් දෙක දැක්ක මට කට පියාගෙන ඉන්නම බැරි උනා.

" ඔබ තුමීගෙත් දණිස් දෙක පේනවනෙ, ඔය ඇඳුමත් අසංවරයිනෙ " කියල මට කියවුනා.
යුනිෆෝම් එකෙන් පේන දණිස් පොල්කටු අසංවර නැති බව ස්වාමීන් වහන්සේ මාව දැනුවත් කලාම ආයෙම මට ප්‍රශ්නයක්. ඒක ස්වාමීන් වහන්සේට.
" එතකොට අර ඩෙනිම් කලිසමට කොට හැට්ටයක් ඇඳල පස්ස පැත්තෙ ඉරි, හැඩතල සේරම පේන ඇඳුම් අවුල් නැද්ද ?"

කියල මම අහනකොට ස්වාමීන් වහන්සේ උත්තරයක් නොදුන්නම, උන් වහන්සේගෙ සිල් බිඳෙනව ඇත්තෙ දණිස් පොල්කටු දෙක දැක්කම වෙන්න ඇති කියල හිතා ගත්තු මම පිරිසත් එක්ක ආපහු හැරිල ගෙදර එන්න පිටත් උනා.

ඉසුරුමුණි පෙම් යුවලෙ ඉන්න කාන්තාවගෙ නිරුවත් උඩුකය වහන්න සළුවකුයි, පිරිමියාගෙ දණිස් වැහෙන්න අන්දවන්න සරමකුයි, පෙම් යුවල ඉන්න අසංවර ඉරියවුව පිටට පේනවට ආවරණය කරන්න තිර රෙද්දකුයි අරන් පස්සෙ දවසක ආයෙත් එනව කියල්ල මම හිතා ගත්තා.

අති උත්තම පොලිස් කෝළම ( සත්‍ය සිදු වීමකි )

වෙලාව මධ්‍යම රාත්තිරිය පහු වෙලා විනාඩි 36 යි. තව පැය කීපයකින් අපේ පවුලේ සාමාජිකයො ටික එකතු වෙලා අනුරාධපුරේ වන්දනාවක පිටත් වෙන්න තියෙන නිසා නොනිදා වැඩ. ගෙනියන්න ඕන කරන දේවල් ටික සූදානම් කරන ගමන්.

අපේ ගෙදර ප්‍රධාන පාර අයිනෙ හන්දා වෙලාවකට පුදුම වදයක්. කන ගාවින් වාහන සද්ද. දැන්නම් ඉතින් කම්මලේ බල්ල ගානට ඒ සද්ද පුරුදු වෙලා. හැබැයි අවුරුදු එක හමාරක් වෙච්චි අපේ පොඩ්ඩනම් පොඩි වාහන සද්දෙටත් අවදි වෙනව. ඔය අව් අස්සෙ වාහනයක් ගේ ඉස්සරහ නවත්තල හෝන් එක ගහන්න ගත්තා.

" නොදකින් අවලම් හැත්ත, මුන්ගෙ @!#%$ යකෝ " කියල බොහොම පහන් සංවේගයෙන් හිතින් හිතන ගමන් මොකාද මේ කියල බලන්න නැගිට්ටෙ මුන්ගෙ හෝන් සද්දෙට පොඩ්ඩ අවදි උනොත් වැඩ සේරම හබක් නිසා.

මෙන්න බොලේ පොලිස් ජීප් එකක් නවත්තල.
" මල්ලි, පියදාස හෝටලේ කොහෙද මල්ලී "
අපේ බාසාවෙන් කියනවනම් කරටි කැඩෙන්න ගහපු ඩෑල් එකක් මගෙන් අහනව. ඇහ්, කවුද යකෝ පොලිස් ජීප් එක ඇතුලෙ ඉඳන් කතා කරන ඩෝප් පොර.
 
පොලිස් උත්තමයො දැක්කහම ගණන් නොගන්න, පොඩ්ඩක් වටේ යවන ගතියක් මට උපතින් පිහිටල තියෙන හින්ද, කලින් අහපු එක ඇහුනෙ නැති ගාණට ආයෙම අනිත් පැත්තට ඇහුව    " මොකක්ද ? "    කියල.

අර කලින් පොරම කලින් ප්‍රශ්නෙම ඔන්න ආයෙත් මගෙන් අහපි. නට් පුක් වෙන්න වැදිල ඉන්නෙ ඩ්‍රැයිවර් උන්නැහේටනෙ යකෝ. සෙනිකව මගෙ ඔලුවට ආවෙ 25,000 දඩේ.
ජීප් එක ඇතුලෙ තව දෙන්නෙක් ඉන්නව. පොලිස් රාලහාමිලා දෙන්නෙක්.

" පියදාස හෝටලේ ? එහෙම එකක් මම දන්නෙ නෑ "
ඒ ගමන ඇතුලෙ ඉන්න රාලහාමි ටෝච් එක ගහල කොලයක් බලල අහනව
" ප්‍රියංග හෝටලේ කොහෙද ?" කියල.

ඩ්‍රැයිවර් රාලහාමිට පොඩ්ඩක් මිෂ්ටේකන් එකක් වෙලා. මටත් වෙරි වගේ.
" ඒකනම් ඔන්න ඔතන ඉස්සරහින් වමට හැරිල මීටර් විස්සක් යද්දි තියෙන්නෙ "
මම උත්තර දුන්න.

" ඒ කිට්ටුව ඉන්නවද සුජාත කියල ගෑනියෙක් ? "
පොලිස් රාලහාහාමිලාට අනන්‍ය සුමුදු බස් වහර. කණට මී පැණි වගේ.
මොහොතක කල්පනාවකට වැටිල ආයෙම පියවි සිහියට එද්දි මතක් උනේ, මේ හාදයො ටික අහන්නෙ කාන්තාවක් ගැන නේද, එහෙමනම් කෝ කාන්තා පොලිස් නිළධාරිණියක් කියන කාරණාව.

සුජාතව දන්නව උනත්
" එහෙම කෙනෙක් ගැන අහල නෑ, සමහර විට ගමේදි එන නමක් කියනව ඇති "
මම උත්තර දුන්න.

" එහෙනම් අපි ටිකක් ගිහින් බලල එන්නම්කො "
කියල බොහොම ගරු ගාම්භීරව කියාපු අර ඩ්‍රැයිවර් රාලහාමි දර දරස්, දර දරස් ගාල කසි කබල් ජීප් එක පණ ගන්නල, ඩක ඩකස් ගාල ගියර් එකට දැනකොට ආයෙම මට මතක් උනේ 25,000 දඩේ.

ඒත් එක්කම අනිත් අතට මෙහෙමත් හිතුනා,
" නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ " කියන්නෙ කට කහනවටැයි නෙහ්

ලිස්ටික් ( සත්‍ය සිදු වීමකි )

වාර්ෂික විවිධ ප්‍රසංගය, කිවුවට මේ අවුරුද්දෙ තමයි හා හා පුරා කියල පටන් ගත්තෙ. අලුත් නැටුම් ටීචර් එක්ක ඉස්කෝලෙ පුංචි කෙල්ලො කොල්ලො ටික මෙච්චර දවසක් පුරුදු පුහුණු උන නැටුම් ගැයුම්, අම්මල, තාත්තල, ගුරුවරු විතරක් නෙමෙයි, තව ලොකු ලොකු අමුත්තොත් ඉස්සරහ පෙන්නන දවස අද.

උත්සවේ පටන් ගත්තෙ උදේ 11 ට. ඊයෙ සිමෙන්ති දාල ඉවර උන වේදිකාව උඩ අද දස්කම් දක්වන්න පුංචි එවුන් ආසාවෙන් බලන් ඉන්නව. නැටුම් ටීචර්ගෙ උදවුවට තව ටීචර්ල සර් ල කීප දෙනෙකුත් ආව. බියුටි සැලූන් එකේ ශෝභා අක්ක ඉස්කෝලෙ ලමයින්ව මේකප් කරන්න සල්ලි එපා කිවුව. ලමයි 400ක් විතර මේකප් කරන එක ලේසි වැඩක් නෙමෙයි ඒ උනාට. හැබැයි ඒක මේ දුප්පත් ඉස්කෝලෙ පොඩි උන්ට වගේම ටීචර්ටත් ලොකු හයියක්. ඉස්කෝලෙ ලඟම ගෙදරක නැන්ද කෙනෙක් ඇන්දුම් පැලන්දුම් ටික අඩු කුලියකට මහල දුන්න.

දැන් 12 ට කිට්ටුයි. වැඩේ පිලිවෙලට යනව. මුලු ඉස්කෝලෙම අත්පොළසන් හඬින් පිරිල ගිහින්. 300 කට ඉඩ තියෙන ශාලාවෙ 1000 ක් විතර. අම්මල තාත්තල, නෑදෑයො සේරම ඇවිත් පොඩි උන්ගෙ දස්කම් බලන්න. නැටුම් ටීචර් එහාට දුවනව, මෙහාට දුවනව, ලමයි පෙල ගස්සනව,
ඇඳුම් හරිද, මේකප් හරිද, වේදිකාව හරිද, බෙර ගහන මාමල කෝ, සිංදුව ලෑස්තිද.. හරි එහෙනම් එන්න දරුවො, ඊ ලඟට ඔයාල. 5 පන්තිය කෝ එන්න පේලියට.
ලමයි ටික දුවගෙන ආව. පේලියෙ ඉන්න ලමයි අතරෙන් සවනි ටිකක් අත උඩට උස්සල ටීචර්ට කතා කලා.

"ටීචර්, ඊ ලඟට අපි නේද ? "
"ඔවු පුතේ , ලෑස්තියි නේද ? බය නැතුව හිනා වෙලා ලස්සනට නටන්න ඕන හැමෝම. හොඳද ?"
"හා ටීචර්" හැමෝම උත්තර දුන්න.
"ටීචර්, මම උදේ ඉඳලම වතුර ටිකක්කත් බිවුවෙ නෑ ටීචර්"
අනේ දෙයියනේ, මේ ලමයට අසනීපයක්වත්ද, ටීචර් කලබල වෙලා.
"ඇයි පුතේ ඒ ?"
"එතකොට ලිස්ටික් යනවනෙ ටීචර්, මම නටල ඇවිල්ලම වතුර බොනව ටීචර්"

ටීචර්ගෙ පපුව පත්තු උනා, දැන් මේ ලමයට වතුර දුන්නට බොන එකක් නෑ, මොනව කරන්නද.

ටීචර් සවනිගෙ ඔලුව ආදරෙන් අත ගාල මෙහෙම කිවුව.
"මගෙ පුතා නටල ඉවර වෙලා ආව ගමන්ම වතුර බොන්න, කෑම ලෑස්ති කරල තියෙනවනෙ, කෑම කාල බීම එකකුත් බොන්න යාලුවො එක්ක"
සවනි මලක් වගේ හිනා උනා .

අපූරු තෑග්ග ( සත්‍ය සිදු වීමකි )

ඇය පාසලට අලුතින් ආපු නැටුම් ගුරුතුමිය. වැඩි දවසක් නෑ අලුත් පත්වීම භාරගෙන. දුෂ්කර පලාතක තිබෙන පාසලක් නොවුණත්, මේ පාසලේ පහසුකම් සහ දරුවන්ගෙ අධ්‍යාපන මට්ටම පවතින්නෙ සාපේක්ෂව පහල මට්ටමක. ඒ වගේම තමයි මේ පාසලේ ලමුන්ට කවදාවත්ම වේදිකාවක් උඩ දස්කමක් දක්වන්න අවස්ථාවක් ලැබිල තිබුනෙ නෑ. අලුතින් ආපු නැටුම් ගුරුතුමීට ලොකු ආසාවක් තිබුන මේ දරුවන්ට ඒ අවස්ථාව හදල දෙන්න. ඇය විදුහල්පති තුමියත් එක්ක සාකච්ඡා කරල වැඩේ පටන් ගත්තත්, අවුරුදු දෙකක් පමණ හරියාකාරව නර්තන විෂයයට ගුරුවරයෙක් නොහිටපු පාසලේ දරුවන්ට තාලයකට චලනය වීම ඉගැන්වීමත් ලොකු අභියෝගයක් උනා. ඇයට උවමනා උනේ පාසලේ හැම දරුවෙකුටම වේදිකාව මත දස්කම් දක්වන්න අවස්ථාව දෙන්න.

ඔය අතරෙ, 3 පන්තියෙ උන්න හරි අපූරු පුංචි ගැහැණු ළමයෙක්. ඇය පාසල් වෙලාවෙ වැඩිපුරම කරන්නෙ තනියම අඬන එක. පන්ති භාර ගුරුතුමියටත් එය සාමාන්‍ය දෙයක් වෙලා. දෙමාපියන් එය ගණන් ගන්නෙත් නෑ. අඩුම තරමෙ මේ කිසිම කෙනෙක්ට උවමනාවක්, උනන්දුවක් තිබිල නෑ මේ පුංචි දැරිවි අඬන්නෙ ඇයි කියන එකට එයට හේතුවක් හොයන්නවත්. අලුත් නැටුම් ටීචර් මේ පුංචි කෙල්ලව නැටුමකට තෝර ගත්තම පන්ති භාර ගුරුතුමිය කිවුවෙ ඔය වැඩේනම් හරි යන්නෙ නෑ කියල. මොකද ඇය දන්නෙ අඬන්න විතරක් නිසා. ඒ උනාට අලුත් නැටුම් ටීචර්නම් කිවුවෙ වේදිකාව උඩ අඬ අඬ ඉන්න හරි තමන් ඇයව අනිවාර්යයෙන්ම සහභාගී කරව ගන්න බවමයි.

ඔන්න ඉතින් අර පුන්චි කිරිල්ලිත් ආව අනිත් යාලුවොත් එක්ක නැටුම් පුහුණුවට. අනිත් ළමුන් බොහොම අපූරුවට බෙර පද තාලයට, සංගීත රිද්මයට නැටුම් පුහුණු වෙද්දි ඇය මොකද දන්නවද කලේ, ඇයත් බොහොම අපූරුවට තාලයට කකුල් පොඩි තබමින් ඉඟ සුඟ පද්දමින් මුහුන පුරා හිනා වේගෙන අපූරු රටා මවමින් හරි හරියට නැටුම් පුහුණු උනා තමන්ගෙ යහළු යෙහෙලියන් එක්ක. ඇයට වෙනද වගේ අඬන්න අමතක වෙලා තිබුණා.

ඉතින් මේ පුන්චි සමනලීටත් හරිම සතුටුයි. ඇය පාසල් ඇරිල ගෙදර ගියෙත් හරිම සතුටින්. ඇයගෙ හිතේ තිබුණා හරි අපූරු ආශාවක්. පොත් බෑගය පැත්තකට දාපු ඇය, කඩදාසි කොල කීපයක්, පාට කූරක්, පැන්සලක් අරගෙන සුදු ගවුම පිටින්ම ලහි ලහියෙ ලොකු වැඩක් පටන් ගත්ත. කොටින්ම කියනවනම් ඇයට කෑමක් බීමක් ගැනවත් මතකයක් නෑ. එදා රෑ ඇය නින්දට ගියෙ පහුවදා උදෙන්ම නැඟිටල ඉස්කෝලෙට දුවන්න හිතේ තියාගෙන. නැටුම් ටීචර්ගෙ හිනාව, ටීචර් නැටුම් උගන්වන හැටි, යාලුවො එක්ක නැටුම් පුහුණු වෙන හැටි ඇයට හීනෙනුත් පෙනුන.

පහුවදා උදෙන්ම ඇය පාසලට ආපු ගමන් දිවුවෙ නැටුම් ටීචර් ගාවට. හිමින් සීරුවෙ නැටුම් ටීචර් ගාවට ඇවිදින් සාරි පොටේ දැවටෙන ගමන් ඇය ටීචර්ගෙ මූන දිහා බලල හිනා උනේ හරියට හිමිදිරි උදෑසනක සීතල පිනි කැට අතරින් පුංචි මල් පොහොට්ටුවක් පෙති විහිදගෙන පිබිදෙන තරම් සිරියාවකින්. එහෙම හිනා වෙන ගමන් ඇය හිමීට ටීචර්ට මෙහෙම කිවුව.

"ටීචර්, මම ඔයාට තෑග්ගක් ගෙනාව. දෙන්නද ?"
ටීචර්ට හරි පුදුමයි. තෑග්ගක් ? මේ ලමය මොනවද මට අරන් ඇවිත් තියෙන්නෙ. ටීචර්ට හිතා ගන්න බෑ. ලමයින්ගෙන් කොහොම තෑගි ගන්නද , අධ්‍යාපන ඇමති තුමාම තහනම් කරල තියෙද්දි. ඇය කල්පනාවකට වැටුන නිමේෂයකට. ඒ අතරෙ අර පුන්චි මල් කැකුලිය ආයෙමත් ටීචර්ට කතා කරනව.
"ටීචර් මේ තැග්ග මම ඔයාටමයි හැදුවෙ. මේක නැති කර ගන්න එහෙම එපා. හැමදාම තියා ගන්න. "

එහෙම කියන ගමන් ඇය අරගෙන ආපු තෑග්ග ටීචර්ගෙ අතේ තැබුව. එක අකුරක්වත්, වචනයක්වත් නැති ඒ තෑග්ග ඇතුලෙ දරුවෙකුගෙ අහිංසක, සුන්දර හැඟීම් ගොන්නක් එක්ක ලොකු කතාවක් තිබුන. ටීචර්ගෙ ඇස් දෙකට කඳුළක් ආවෙ ඇ‍යටත් නොදැනීමයි. සාරි පොටෙන් කඳුළු පිහින ගමන් ඇය තෑග්ග තමන්ගෙ බෑග් එකට දාල අර පුංචි දෝණිව ආදරෙන් තුරුළු කර ගත්ත .