Tuesday, May 29, 2018
උඹෙ පුතා මං ගාව
මං එක්ක නිදි වැදුණු
මහතුනේ අසාපං
උඹලගෙම එකෙක් මගෙ
ජීවිතේ වෙලා දැං
මං එක්ක වීදියේ
පොඩි එකා දිරනවා
උගෙ පියා කවුරුදැයි
මං තවම හිතනවා
මගෙ බඩට දරු දුන්න
උඹත් ලොකු වැදගතෙක්
උඹෙම දරුවා වැදුව
මං හැබැයි වේසියක්
උගන්නන්නට තියා
කන්න ටික දෙන්ඩවත්
උඹ එක්ක වැතිරෙන්ඩ
ඕනැමයි මං හෙටත්
උඹ ගාව කඩචෝරු
ගෙදර පොඩි පැටවුන්ට
"අපෙ" එකා අඬනවා
මගෙ කිරිත් නැති කමට
දඟලද්දි මං එක්ක
උඹ රතිය විඳ ගන්ට
උඹෙ පුතා පැත්තකින්
ගුලි වුණා සීතලට
නුඹ....
කනාටු වී ගිය
අත්තක ඉතිරිව
පරඬැල් මැද්දේ
රැඳුණු මලක්
ඉඩෝර කාලෙක
දිරන රිකිලි මත
කෙලෙස පිපෙන්නද
මුදු කුසුමක්
කඨෝර හුලඟේ
අතු පැටලෙන විට
නෙලන්න පෙර
ගිලිහුණි එමලත්
මලක් නොවයි ඒ
ගිමන් හරින්නට
මඳකට නැවතුණු
සමනලයෙක්
මොනාලිසා
උඹ අනුන්ගේ සිත්තමක්
මං ආදරේ කරන
උඹට තියෙන්නෙ මහ අමුතුම හිනාවක්
මගෙ හිතම හිරි වට්ටන
වෙලාවකට මේක මහ අවනඩුවක්
රැකවල් මැද්දෙ උන් උඹව හිර කරගෙන
මගේ ලඟ තියෙන්නේ උඹේ එක කොපියක්
බිත්තියේ ගහගෙන
හැමදාම මං එක්ක කාමරේ උන්නත්
උඹ හිනාවීගෙන
මම තාම හරියටම දැක්කෙ නෑ
ඔය හැංගිච්ච ලස්සන
Saturday, April 21, 2018
ඇන්ටිගෙ කසාදේ
මේක අපේ ඔෆිස් එකේ හිතවතියක් සහ, අපිට තේ එහෙම හදල දෙන අපේ හිතවත් "ඇන්ටී" අතර සිද්ධ උන කතා බහක්.
මම කසාද බඳිනකොට අවුරුදු දාසයයි මිස්.
අනේ ඇත්තද, ඇයි ඉතින් ආන්ටි පොඩි වයසින්ම බැන්දෙ ?
බැන්ද නෙමෙයි මිස්, බඳින්න උනානෙ.
ඒ ඇයි ?
මම ඉස්කෝලෙ යන කාලෙ නෙට්බෝල් සෙල්ලම් කලානෙ මිස්. ඔන්න දවසක් අපි සෙල්ලම් කරනකොට තව ලොකු අයියල වගයකුත් බෝල ගහනව පිට්ටනියෙ. එක අයිය කෙනෙක් බෝලයක් අල්ලන්න දුවගෙන ආව. කොහොම හරි මම ඉන්න ලඟටම ආවම, බෝල පස්සෙ දුවන එක නවත්තල මගෙ අතින් අල්ල ගත්තනෙ, එක පාරටම. අල්ලගෙන කිව්ව "මේ තමා මගෙ කැච් එක" කියල.
ෂා, මාරයිනෙ. ඉතිං ඉතිං ?
ඉතිං මම එතන බිම පෙරලිලා, ඒ අයියගෙ අතේ එල්ලිලා අඬන්න ගත්ත මට ගෙදර යන්න බෑ, මාව කසාද බඳින්න කියල. මම කෑ ගගහ ඇඬුව මට ගෙදරනම් යන්න බෑමයි, මාව කසාද බැඳල එයාගෙ ගෙදරට එක්කගෙන යන්න කියල.
මොකාක් ?
ඔව් මිස්, ඒ ගමන ඒ අයිය මේ මොන හු***ක්ද කියල හොඳ කුණුහරපෙකුත් කියල මගෙ අත ගසල දැම්ම.
මමත් අත ඇරියෙ නෑ, මාව කසාද බඳින්නම කියල පෙරලි පෙරලි ඇඬුව.
ඒක පුදුම කතාවක්නෙ ආන්ටි ? ඇයි ඉතින් එහෙම කසාද බඳින්න කියල ඒ අයියට බල කලේ ?
ඇයි මිස්, එයා අතින් මගෙ ආත්ම ගරුත්වය කෙලෙසුණානෙ.
මොකක් ? ආත්ම ගරුත්වය කෙලෙසුණා ? ඒ කොහොමද ?
අපේ අම්ම මට කියල දීල තිබුණෙ එහෙමනෙ මිස්. කවුරු හරි නාන්දුනන පිරිමි කෙනෙක් ඇවිත් මගෙ අතකින් හරි ඇල්ලුවොත් එදාට මගෙ ආත්ම ගරුත්වය කෙලෙසෙනව කියල.
අම්මටසිරි, ඉතිං ඒ අයිය ආන්ටිව බැන්දද ?
අනේ ඔව් මිස්, ඊට පස්සෙ එයා අපේ ගෙදර ඇවිල්ල අපේ අම්මගෙන් අහල මාව කසාද බැන්ද, එතකොට මට 16 යි. විභාගෙ ලිව්ව විතරයි. ප්‍රතිඵල ඇවිල්ලත් නෑ. මට බතක් උයා ගන්නවත් දන්නෙ නෑ එතකොට.
කසාද බැඳල ඊට පහුවදාත් හරි වැඩක් උනේ. පහුවදා උදේම මම අපේ අයියට කතා කලා, කතා කරල කිව්ව ආයෙනම් මට ඒ මිනිහ එක්ක යන්න බෑ කියල.
හුටා, ඒ ගමන මොකද ?
මම අපේ අයියට කිව්ව " අනේ අයියෙ මටනම් ඒ මිනිහ එක්ක ආයෙනම් යන්න බෑ, මේ බලන්න හැම තැනම සූරල, හපල මගෙ ඇඟ ගන්න දෙයක් නෑ, මමනම් මේ මිනිහ එක්ක යන්නෙ නෑමයි " කියල
බුදු අම්මෝ, ආන්ටි ඕව අයියට කිව්වෙ ඇයි ?
අනේ ඔව් මිස් මම අපේ අයියට කිව්ව, අපේ අයියල මට හරි ආදරෙයිනෙ, අයියල අටක් පවුලෙ, මම බාලය , හැමෝම මට හරි ආදරෙයි, මම ඉතිං ලොකු අයියට කිව්ව එහෙම.
ඉතිං අයිය මොකද කලේ ?
අයිය , මම කසාද බැන්ද මහත්තයව පැත්තකට කතා කරගෙන ගිහින් මොන මොනවද කිව්ව.
ඊට පස්සෙ ?
ඊට පස්සෙ එයා ඇවිත් මට කිව්ව, " මැණිකෙ, මම දැං ඔයාගෙ මහත්තයනෙ, ඔයා මගෙ නෝනනෙ, ඉතිං අපි දෙන්න අතරෙ වෙන දේවල් අනිත් අයට කියන්න එපා, මොනව හරි දෙයක් තියෙනවනම් මට කියන්නකො" කියල. එහෙම කියල මගෙ ඔලුව අත ගෑව.
--------------------------------------
ඔව්, උඩ කතාව කියෙව්වම ඔබට හිනා යන්න ඇති. නමුත් ඕක ඇත්ත කථාවක්. අපේ රටේ මිනිස්සු විවාහය, ලිංගිකත්වය, පවුල, ලිංගික සම්බන්ධතා ගැන අදටත් ඔතනින් එහාට ගිය මහා ලොකු දැණුමක් ඇති මිනිස්සු නෙමෙයි.
අධ්‍යාපනය තුලට උක්ත විෂයයන් ඇතුලත් කලත්, ඒ අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන්න ගුරුවරුන් පවා මැලි වෙනව.
කොටිම්ම කියනවනම්, අපේ රටේ ඔය මාතෘකා මැජික් එකක්, එහෙම නැත්නම් කතා කලොත් ඒක වනචර වැඩක්, එහෙම නැත්නම් ප්‍රසිද්ධියෙ සාකච්ඡා නොකල යුතු දේවල්.
මේ කරුණු ගැන නොදැණුවත් කම නිසා "තවමත්" අපේ රටේ ලාබාල දැරියන් ගැබ් ගන්නව, අඩු වයසින් දරුවන් හදනව, සිය දිවි නසා ගන්නව, කසාද බැන්දත් පවු කාලීනව පවුල් අසාර්ථක වෙනව.
බොහොමයක් පවුල් වල ලිංගික සම්බන්ධතා කියන්නෙ බිරිඳගෙන් සැමියාට වෙන්න ඕන යුතුකමක් කියන තත්වෙල පත් වෙලා. ඔවුන් එය විඳින්නෙ නෑ. ඉතින් ස්වාමිපුරුෂයන් වෙනත් කාන්තාවන් ඇසුරට පෙලඹෙනව. බිරිඳ විදියට තමන්ගෙම සැමියත් එක්ක සතුටු වෙන්න මැලි වන කාන්තාවො, අනියම් සැමියත් එක්ක හැකි උපරිමයෙන් සතුටු වෙනව. සැමියා විදියට තමන්ගෙ බිරිඳගෙන් නොලැබෙන සතුට, අනියම් බිරිඳත් එක්ක හරි අපූරුවට විඳ ගන්නව.
ඔන්න ඔතනයි අපේ රටේ බොහොමයක් පවුල් තියෙන්නෙ.
Wednesday, March 28, 2018
පන්ජාර විට්ටු නඩන්නු කුන්ජු
අන්තර්ජාලයේ කතා බහට ලක් වෙන වීඩියෝවක එන වැකියක්. මලයාලම් භාෂාවෙන් කියවෙන
මෙහි අදහසනම් මම දන්නේ නෑ. නමුත් ඒ වීඩියෝව බැලූ පමණින් තේරුම් ගත් යමක්
පිළිබඳවනම් නොකියාම බැහැ.
මට හැඟෙන විදියටනම් මෙය ඛේදවාචකයක්. බොහෝ දෙනා මෙය සිනහවට කාරණයක් කර ගත් බව පෙණුනත්, ඇත්තටම එය සිනහ විය හැකි කාරණයක්නම් නොවෙයි.
මවක්,
තම දරුවාට වැකියක් පාඩම් කරවන්නට ගන්න උත්සාහය සහ, එම කුඩා දරුවාට එය
උච්ඡාරණයට සහ මතක තබා ගැනීමට ඇති අපහසුව, මව තුලින් පෙනෙන විඩාබර බව, දරුවා
තුලින් දිස් වන බිය මුසු චිත්ත පීඩාව, මේ සියල්ල දුටු විට මට සිහියට එන්නෙ
අපේ සමාජයේත් දරුවන් තව කොතෙකුත් මේ අයුරින්ම පීඩා විඳිනවද සහ දෙමාපියන්
කොතරම්නම් මේ අයුරින්ම තම දරුවන් කෙරෙහි කටයුතු කරමින් වෙහෙසෙනවද කියන
කාරණය.
එක් සෙනසුරාදාවක, මම ගමන් ආරම්භ කරන තෙක් බස් රථයක වාඩී වී
සිටින විට, මවක තම කුඩා දියණිය සමඟ එම බසයට විත් මා අසලම ආසනයක අසුන්
ගන්නව. කුඩා දියණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින වයසේ දරුවෙක්. බස් රථයේ
අසුන් ගත් වහාම මේ මව තමන් අතේ තියෙන ෆයිල් කවරයක් දිග හැරල එතුලින්
ප්‍රශ්න පත්‍රයක් එලියට ගන්නව. නොඉවසිල්ලෙන් එය බලන ඇය තුලින් පෙනෙන්නෙ
බලාපොරොත්තු කඩ වුණු ස්වභාවයක්. තම කුඩා දියණිය දෙස බලා තරවටු කරන
ස්වරූපයෙන් යමක් පවසන විට , අර කුඩා දියණිය මහත් බියකින් මව දෙස බලනව. ඉන්
පසුව එම මව, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න එකින් එක විමසමින්, තම දියණිය වැරදි
පිලිතුරු දී තිබූ සෑම ප්‍රශ්නයක්ම පාසා ඇයට බස් රථය තුලදීම තරවටු කරනව.
විටෙක කණ මිරිකනව, තවත් විටෙක ටොක්කක් අනින ඇය, නැවතත් කම්මුල තදින්
මිරිකනව. අර කුඩා දියණිය වේදනාවෙන් ඇඹරෙනව, බියෙන් වෙව්ලනව. ඇස් වල කඳුළු,
මවට වගක්වත් නෑ අවට මිනිසුන් ගැනවත්. ඒ කුඩා දියණියට දැනෙන මානසික පීඩාව,
අවට සෙනඟ සිටියදීම තරවටු කිරීමට ලක් වෙන ඇයගේ ආත්ම අභිමානයට සිදුවන හානිය,
දරුවාට දැනෙන ලැජ්ජාව, දුක, අසරණ බව ... මේ කිසිවක් ගැන මවට කිසිඳු තැකීමක්
නෑ.
ඇයි දෙමාපියන්ට මෙහෙම වෙන්නෙ ? ඇයි කුඩා දරුවන්ට මෙවැනි පීඩනයක් උහුලන්න, මානසික පීඩාවකින් ජීවත් වෙන්න සිදු වෙන්නෙ ?
මට
හිතෙන ආකාරයටනම් මෙයට මූලිකම හේතුව අධ්‍යාපනය ලැබීමට සහ ලබා දීමට ඇති සීමා
සහිත පහසුකම්, ඒ පහසුකම් ග්‍රහණය කර ගැනීමට ඇති අසීමාන්තික තරඟය.
එතනදි
දෙමාපියන් උත්සුක වෙනව සම වයසේ අනිත් දරුවන්ට වඩා ඉදිරියට තම දරුවා ගෙන
ඒමට. ඔවුන් එතනදි කරන්නෙ දරුවාගේ කැමැත්ත විමසීමකින් තොරවම, තමන්ගේ තේරීම
වෙත දරුවා බලහත්කාරයෙන් තල්ලු කිරීමයි. තමන්ට අතපසු වූ, හෝ ලඟා කර ගැනීමට
නොහැකි වූ ඉලක්ක කරා ලඟා වීමට තම දරුවා යොදා ගැනීමත් මෙතනදි සිද්ධ වෙනව.
දෙමාපියන් ලෙස, විටෙක ඔබත් මෙවැනි තත්වයකට පත් වෙලා තියෙන්න හෝ, පත් වීමට පුළුවන්. නමුත් එය කෙතරම් දුරට සාධාරණද ?
ඔබේ
දරුවා යනු ඔබ නොවෙයි. ඔහු හෝ ඇය වෙනත් ජීවියෙක්. දරුවාගේ කැමැත්ත, තේරීම,
ඔබට වඩා හාත්පසින්ම වෙනස් වූවක් වියැ හැකියි. එය දෙමාපියන් විසින් වටහා ගත
යුතුම කාරණයක්.
සෑම දරුවෙකුම අධ්‍යාපනයට එක හා සමානව දස්කම්
දක්වන්නේ නෑ, එක් දරුවෙක් කලාවට, තවත් දරුවෙක් ක්‍රීඩාවට, තවත් දරුවෙක්
තාක්ෂණයට කැමති වෙන්න පුළුවන්. දෙමාපියන් ලෙස ඔබ කල යුත්තේ ඔබේ දරුවාව
කියවීම, තේරුම් ගැනීම, සහ දරුවාගේ කැමැත්ත වටහාගෙන ඔහුට හෝ ඇයට තම ඉලක්කයන්
කරා ලඟා වීමට ඔබට ලබා දිය හැකි උපරිම සහයත්, හොඳ නරක කියා දීමත් නොවෙයිද ?
දරුවන්
පීඩාවට පත් කරමින්, අධ්‍යාපනයේ යම් ඉලක්ක සපුරා ගැනීමට බලහත්කාරකම් කිරීම
තුලින් සමාජයට වැඩදායී පුද්ගලයෙක් බිහි වෙන්න පුළුවන්ද ? එවැනි දරුවෙක්
ආත්මාර්ථයෙන් පිරුණු, අනෙකා පීඩාවට පත් කරන පුද්ගලයෙකු වීමට ඇති සම්භාවිතාව
ඉතා ඉහලයි. ඔවුන් තුල දෙමාපියන් කෙරෙහි පවා ඇති වන්නේ නුරුස්නා ස්වභාවයක්.
කිසිඳු කරුණක් වෙනුවෙන් ඔබ ඔබේම දරුවා හෝ වෙනත් දරුවෙකු පීඩාවට පත් කරන්න එපා. එය දරුවාට මානසිකව ඉතා ප්‍රභලව බලපාන කාරණාවක්. දරුවා තුල එම කාරණාව පිලිබඳව අනියත බියක්, අකමැත්තක්, ඔබ ගැන මෙන්ම සමාජය ගැනත් අකමැත්තක්, ද්වේෂයක් හට ගැනීමට එය හේතුවක්.
ඔබත්
ඔබේ දරුවා කෙරෙහි පීඩාකාරීව කටයුතු කරන කෙනෙක්නම්, නවතින්න. මඳක් සිතන්න.
දරුවා කෙරෙහි කාරුණික වන්න. ඔහුගේ / ඇයගේ කැමැත්තට ඉඩ දෙන්න. ඔවුන්ගේ ගමනට
අත්වැලක් වෙන්න. මඟ පෙන්වන්න සෙනෙහසින්.
Subscribe to:
Posts
(
Atom
)