Sunday, September 24, 2017

වරණ ( සත්‍ය සිදු වීමක් ඇසුරෙනි. නම් ගම් මනඃකල්පිතය )

අනිච්ඡාවත සංඛාරා.. උප්පාද වයධම්මිනෝ..
උප්පජ්ජිත්වා... හාමුදුරුවන්ගෙ හඬ දයාසීලිගෙ දෙකන් පසාරු කරගෙන මුළු ගත පුරාම විදුලියක් වගේ දුවනව ඇයට තේරුණා.

"අනේ මගෙ පුතේ" කියල දෑතින්ම පපුවට ගහ ගත්ත ඇය සිහිසන් නැතුව ඇද වැටෙනකොට ලඟ උන්න කීප දෙනෙක් ඇයව වත්තන් කර ගත්තා.

ධම්මික ගෙ නිසල සිරුර ලඟ බිම වාඩි වෙලා පැන් වඩමින් උන්න අක්ක ශ්‍රියාණි, අනිත් අයගෙ උදව්වෙන් අම්මව කාමරේට අරගෙන යනකොට පැන් වඩන තැන ඉතුරු උනේ ශ්‍රියාණිගෙ සැමියත් දරු දෙන්නත්, තව නෑදෑ කීප දෙනෙකුත් විතරයි.

ආගමික වතාවත් ඉවර කරල ධම්මිකව කනත්තට රැගෙන යන්න ගමේ තරුණ කොල්ලො සෑහෙන පිරිසක් එකතු උනා. දයාසීලි පියවි සිහියට එනකොට ධම්මික ආයෙ නො එන්නම ගිහින්.

"අම්මෙ, මේ කෝපි එක බීල හිටියනං" ශ්‍රියාණි දයාසීලිගෙ ඇඳේ පැත්තකින් වාඩි උනේ අම්මගෙ ඔලුව යන්තමින් පිරිමදින ගමන්.

කෝපි කෝප්පෙ පැත්තකට කරපු දයාසීලි අමාරුවෙන් ඇඳෙන් නැඟිට්ටා. ගමේ ගෑනු එකතු වෙලා මල බත උයන දිහා මොහොතක් බලන් උන්න ඇය දෝතින්ම හිස බදාගෙන කල්පනා කරන්න උනා. 

දවස් තුනකට කලින් මේ වගේ ගොම්මන් වෙලාවක වෙච්චි සිදු වීම ඇයගෙ හිතට හරි හරියට  වද දෙන්න පටන් ගත්තා.

අජිත්, දයාසීලිගෙ වැඩිමල් පුතා. ශ්‍රියාණි කියන්නෙ මද්දුමී, ධම්මික තමයි බඩ පිස්සා. ගුණපාල, ඒ කියන්නෙ දයාසීලිගෙ සැමියා, ජීවිකාව කර ගත්තෙ ගොවිතැනින්. මීට අවුරුදු තුනකට කලින් ගුණපාල කුඹුරට ගිය වෙලාවක මී මැස් මොරය හැදිල කුඹුරෙ වැටිල මැරිල උන්න.

ශ්‍රියාණි ඒ වෙද්දි කසාද බැඳල. ධම්මික සාමන්‍යපෙල ලිව්ව විතරයි. අජිත් වැඩිමලා උනත් තනිකඩයා, ඒ විතරක් නෙමෙයි නාහෙට නාහන එකා. කොහෙන් හරි පොල් ගෙඩියක් හොරකම් කරල විකුණල හරි අජිත් කලේ කසිප්පු බිව්ව එක. ගෙදරට කියල සත පහක උදව්වක් අජිත්ගෙන් ලැබුණෙ නෑ.

පොඩි එවුන් දෙන්නගෙ වැඩ නිසා අජිත් ගැන හොයා බලන එක දයාසීලිටත් මඟ ඇරිල තිබුණා. අජිත් උස්මහත් වෙලා පෙලවහක් හෙම කර ගන්න කාලෙ ඇවිත් දයාසීලි ඌ ගැන හොයනකොට අජිත් නන්නත්තාර වෙලා ඉවරයි. බේබද්දෙක් වෙලා ඉවරයි.

බේබදු කම විතරක් නෙමෙයි, අජිත් වෙලාවකට හොරෙක්. ගමේ මිනිස්සුන්ටත් වදයක්. ගෙදරට ආවෙ හතරගාතෙන්. බීගෙන ඇවිත් යකෙක් වගේ ගෙදර වලං මුට්ටි පොඩි කරල දාපු අජිත් , අම්මටයි මල්ලිටයිත් පහර දුන්න. කනමදය වගේ උන්න අජිත්ට පාරක් දෙකක් ගහල මෙල්ල කර ගන්න ධම්මිකට ඒ වෙලාවට පුලුවන් උනා. දරු දෙන්න අතරට පැන්න දයාසීලිට උන් දෙන්නව දෙපැත්තට කරන්නත් ලේසි උනේ නෑ.

ලොකු එකා බේබද්දෙක් වෙද්දි, පවුල ගැන, අම්ම ගැන හොයා බැලුවෙ ධම්මික. ඉස්කෝලෙ ගමන නවත්තල දාපු ධම්මික, ෆිනෑන්ස් දාල ත්‍රීවීල් එකක් ගත්ත. එදිනෙදා හයර් වලින් ධම්මිකට සැලකිය යුතු ආදායමකුත් ලැබුණා. ගෙදරට උවමනා බඩු මුට්ටු, කන්න බොන්න දේවල් ගෙනාවෙ ධම්මික. අජිත් කලේ අම්ම උයල දෙන එකක් කාල, මොන විදියකින් හරි කීයක්ම හරි හොයාගෙන කනමදය වගේ බීපු එක.

අජිත්ගෙන් දයාසීලිට වෙන හිරිහැර නිසාම ඇයට අජිත්ව එපාම වෙලයි තිබුණෙ. කොටින්ම තමන්ගෙ දරුවෙක් කියලවත් හිතුනෙ නෑ.

එදා හොඳටම වැස්ස දවසක්. ගස් කඩන් වැටිල ලයිට් කණු, කම්බි කීප පොලකින්ම කැඩිල නිසා කරන්ට් එකත් නෑ. අඳුර වැටීගෙන එනකොට ධම්මිකගෙ ත්‍රීවීල් එක ගේ ඉස්සරා නැවැත්තුව. හාල්, පොල්, එලවලු පිරිච්ච මල්ලක් අම්මගෙ අතට දුන්න ඔහු, ත්‍රී වීල් එක මඩුවට දාල, මහන්සියත් නොබලම වතුර පනිට්ටු කීපයක් ගෙනත් මඩ හෝදල දැම්මෙ කුප්පි ලාම්පු එලියෙන්. ධම්මික තමන්ගෙ දරුවෙක් වගේ ත්‍රීවීල් එක පරෙස්සම් කලේ.

අම්ම උයන අතරෙ, ධම්මික ලිඳ ලඟට ගිහින් සීතලේම නාගෙන ඇවිත් කොට කලිසමකුත් ඇඳගෙන, කුස්සියට ආවෙ කුස්සියෙ මේසෙ උඩ වෙනද වගේම උණු උණු තේ එකක් තියෙන බව දන්න නිසා. ධම්මික තේ එක බොන අතරෙ දයාසීලි හනිකට බතකුයි, පරිප්පුයි, සම්බෝලෙකුයි හදල ඉවර උනා. තෙල් තාච්චිය රත් වෙන්න ලිපේ තියපු ඇය, පපඩම් පැකට් එක අරගෙන පපඩම් දෙක තුනක් එලියට ගන්නකොටම කුණුහරුප කියාගෙන, කෑ ගහගෙන අජිත් එන සද්දෙ ඈතින් ඇහෙන්නට උනා.

" අර වසවර්තිය අදත් කට ගොන්නක් බීගෙන. පොඩි එකෝ උඹ එහෙම ඔන්න යන්නෙ නෑ ඕක එක්ක පැටලෙන්ඩ" කියාගෙන දයාසීලි ඉස්තෝප්පුවට ආව.

ඒ වෙනකොටත් අජිත් ගේ දොරකඩ. කරුවලේ හරියට පේන්නෙත් නෑ කිසි දෙයක්. වැස්සෙ තෙමීගෙන ගෙට එන අජිත්ව දැක්ක දයාසීලි ආපහු කුසියට යන්ඩ හැරුණ.

අමු තිත්ත කුණුහරපෙන් ඇයට බැනගෙනම ගෙට ගොඩ උන අජිත් ඉස්තෝප්පුවෙ තිබුණ පුටුවකට දඩාස් ගාල පයින් ගහනකොට ඒ සද්දෙ මොකක්ද බලන්න ධම්මිකත් කලබලෙන්  එලියට දුවගෙන ආව.

"අම්ම යන්ඩ ගෙට" ධම්මික කියද්දි අජිත් එපාම කරපු විදියට අමු තිත්ත කුණුහරපෙන් ධම්මිකටත් බැනගෙන බැනගෙන ගියා.

අජිත්ගෙ මේ කෙරුවාව එපාම වෙලා උන්න දයාසීලි " අනේ මේ කාලකන්ණියා මැරිලවත් යන්නැති හැටියක්" කියල කියනකොටම, ධම්මික කලුවරේම මිදුල කොනේ තිබ්බ උදලු මිටක් ගලවගෙන අජිත්ට ගහන්ඩ පැන්නා. අයිය මලෝගෙ රණ්ඩුව මැද්දට පැන්න දයාසීලිට අඳුරෙ කිසි දෙයක් පෙනුනෙ නෑ.

දෙන්නගෙ ගාලගෝට්ටිය නවත්ත ගන්ඩ බැරිම තැන "ගහපං ඕකට අතක් පය කැඩෙන්ඩ. එතකොටවත් නිදහසක් තියෙයිනෙ දෙයියනේ" කියල ධම්මිකට කිව්ව.
පොලු පාරවල් දෙක තුනක් බොහොම තදින් වැදෙන සද්දෙ දයාසීලිට ඇහුණත් ඇය ගණන් ගත්තෙ නැත්තෙ අජිත්ගෙ කෙරුවාව ඇයට එපාම වෙලා තිබ්බ හන්ද. මිනිත්තු දෙක තුනකින් පස්සෙ කෙන්දිරි ගාගෙන එකෙක් බිම වැටෙන හැටි සේයාවක් වගේ දයාසීලිට පෙණුනා.

"ඇති පුතේ ඇති" කියාගෙන දයාසීලි දුවගෙන එනකොට
"ඔන්න උඹේ පොඩි පුතාව මම ඉවරයක් කෙරුව" කියල කෑ ගහපු අජිත් මහ හයියෙන් වියරුවෙන් වගේ හිනා උනා.

"මගෙ බුදු පුතේ" කියාගෙන වැටිල උන්න ධම්මික ගාවට දුවපු දයාසීලීගෙ සද්දෙට වටපිටාවෙ ගෙවල් වල මින්ස්සු එකතු වෙනකොටත් ධම්මිකගෙ හුස්ම ටික වා තලයට මුහු වෙලා තිබුණා.

4 comments :

  1. ලස්සනයි ලියන විදිය..

    ReplyDelete
  2. දුක හිතුනා...ඒ වුණත් කතාව අපුරුවට ගලායනවා

    ReplyDelete