Thursday, February 23, 2017

අපේ ලොකු හාමුදුරුවෝ

අපේ පන්සල ගොඩාක් ලොකුය. පන්සලේ ලොකු හාමුදුරුවෝද පොඩි වැඩක් කරන්නේම නැත. කාලයක් ලොකුම ලොකු කැලෑවක ආරණ්‍යවාසීව උන්නා කියා කියනවා මා අසා ඇත. ලොකු හාමුදුරුවෝ ආපු අලුතම කියා තිබුණේ අපේ පන්සල තවත් ලොකුවට සාදා, ලොකු බුදු පිළිමයකුත් හැදුවාට පස්සේ ආයෙම අර ලොකු කැලෑවේ භාවනා කරන්නට යන බවය. අපේ අත්තම්මලා, අම්මලා එහෙම කියනකොට " ඇත්තටම හාමුදුරුවෝ ආපහු යයිද ? " කියා වරෙක මම ඔවුන්ගෙන් ඇසුවෙමි .


ලොකු හාමුදුරුවෝ ආපු අලුතම ලොකු බෝධි පූජාවක් පටන් ගත්තා මතකය. සෙනසුරාදා ඉරිදා හැන්දෑ වන විට අපේ ගමේ වැඩිහිටියෝ පොඩි උන්වද ඇදගෙන පන්සලට යන්නේ එක එක තාලෙට ලොකු හාමුදුරුවන් කියනා බෝධි පූජා කවි අහන්නටය. 
 
ලොකු හාමුදුරුවෝ ගැන පැහැදුන අපේ දායක සභාවේ ලොකු ලොක්කන් එකතු වී උපාසක සමිතියේ වියදමින් ලොකු හාමුදුරුවන්ව දඹදිව වන්දනාවට වැඩැම්මුවා මට මතකය. ඊට පස්සේ අවුරුද්දක් ගානේම ලොකු හාමුදුරුවන් දඹදිව වඩින්නට පටන් ගත් අතර දායක සභාවෙන් ඒ සියලු වියදම් ලොකුවටම කර දුන්නාය.

ඊ ලඟට අපේ ලොකු හාමුදුරුවන්ට උවමනා උනේ ලොකුම ලොකු බුදු පිළිමයක් හදන්නටය. ගමේ ලොකු ලොකු සල්ලි කාරයන් මෙන්ම පොඩි පොඩි රැකියාවල් කරන අය පවා මුදලින් ශ්‍රමයෙන් ලොකු හාමුදුරුවන්ට උපකාර කලෝය. බුදු පිළිමය හදා අවසන් විය. පිළිමය හිටි පිළිමයකි. ලොකුය. ලස්සනය. එතන දැන් පිං කැටයක්ද ඇත. ලොකු ලොකු ගමන් යන අයද වාහන නවතා කැටයට සල්ලි දමති.

බුදු පිළිම වහන්සේගේ වැඩ නිම වුවද, අපේ ලොකු හාමුදුරුවන් ආපහු ලොකු කැලෑවේ භාවනා කරන්නට වැඩියේ නැත. ලොකු හාමුදුරුවන් ටික දවසකින් ලොකු වෑන් එකක් පන්සලට ගත්තේ ගමන් බිමන් යෑමේ පහසුවටය. අහල පහල පන්සල් වලින් පවා උත්සව වෙලාවට අපේ පන්සලට එන්නේ ලොකු හාමුදුරුවන් ලඟ ඇති ලොකු කැමරාව ඉල්ලා ගන්නටය. එය අපට ලොකු ආඩම්බරයකි. වසරක් ගානේ දඹදිව වඩින ලොකු හාමුදුරුවන්ට ලොකු කැමරාවක් නැතුවම බැරිය.

ලොකු හාමුදුරුවන්ට දෙන දානය ලොකු ප්‍රමිතියක් තිබිය යුතුය. එහෙම නැති විට මොන ලොක්කාගේ දානය උනත් ආපසු හරවා යවන්නට ලොකු හාමුදුරුවන් දෙපාරක් හිතන්නේ නැත. වතාවක් අපේ ගමේ නැන්දා කෙනෙකු උදේ දානයට ඉඳි ආප්ප, සම්බෝල සමඟ අල කිරට උයාගෙන ගිය විට "මේවා මට වළඳන්ට බෑ, මට වළඳන්ට බත් සහ අහවල් අහවල් ව්‍යන්ජන ඕනෑ" යැයි පවසා නැන්දාව හැරෙන තැපෑලෙන් ගෙදර එවා තිබුණා මතකය.


පිරිකරට අපි දෙන්නේද හොඳම දේවල්ය. සෙන්සොඩයින් නැත්නම් දත් මදින්නට ලොකු හාමුදුරුවන් කැමති නැත. ලොකු හාමුදුරුවන්ගේ දත් සෙට්ටෙකට සෙට් වෙන්නේ සෙන්සොඩයින් පමණක් බව අපේ ගමේ අය දැන් දනිති.

වතාවක් අපේ ගමේ ගෙදරක සත් දවසේ දානයට අපේ ලොකු හාමුදුරුවන් සමඟ අහල පහල පන්සල් වල ලොකු හාමුදුරු වරුද වැඩියහ. දානය අවසානයේ පිරිකර පූජා කරද්දී ගෙදර උදවිය සියලුම හාමුදුරු වරුන්ට අට පිරිකරක් බැගින්ම ගෙනැවිත් තිබුණි. සියල්ලන්ටම පිරිකර පූජා කර අවසානයේ අපේ ලොකු හාමුදුරුවන්ට අටපිරිකර සහ තවත් ටිකක් වැඩියෙන් පිරිකර පූජා කලෝය. වහාම අට පිරිකර ඉවතට තල්ලු කර දැමූ ලොකු හාමුහුරුවෝ කිවුවේ " මේ බාල අටපිරිකර මම පාවිච්චි කරන්නෙ නෑ " කියාය. අපිට දැණුනේ ලොකු ආඩම්බරයකි. අනිත් පන්සල් වල ලොකු හාමුදුරුවරු වගේ අපේ ලොකු හාමුදුරුවෝ ආවට ගියාට පිරිකර පිළි ගන්නේ නැත.

තවත් වතාවක් ලොකු තරුණ නඩයක් සමඟ යාපනයේ වන්දනා චාරිකාවක ගිය ලොකු හාමුදුරුවන්ගේ වෑන් එකට යට වුණු දෙමල මිනිසෙකු මිය ගොස් තිබුණේය. නඩුවට යාපනේ යන්නට සිදු උනේ වාහනයේ රියදුරාට නොව, ලොකු හාමුදුරුවන්ටය. ලොකු හාමුදුරුවන් අතින් ඒ මනුස්සයා හැප්පෙනකල් වාහනය පදවපු රියදුරා මොනවා කලාදැයි මට ඇති උනේ පුදුමයකි.


ලඟදී ඉඳලා අපේ ගමේ උදවිය වෙනදාටත් වඩා වැඩියෙන් ලොකු මල් ගොඩක් කඩාගෙන, වැඩි වැඩියෙන් තෙල්, ලොකු ලොකු හඳුන් කූරු පෙට්ටි අරගෙන පවුල් පිටින් පන්සල් යති. අපේ අත්තම්මා ඔහොම දවසක පන්සල් ගිහින් ගෙදර ආවාට පස්සේ මට ඇසීමට ලොකු ප්‍රශ්න ගොඩක් තිබුණි.


" ඇයි වෙනදාටත් වඩා ලොකු උනන්දුවකින් හැමෝම පන්සල් යන්නෙ පවුල් පිටින් " මම ඇසුවෙමි.

" දැන් ඉස්සරටත් වඩා ලොකු බෝධි පූජාවක් තියෙනවානේ " අත්තම්ම පිළිතුරු දුන්නාය.

" ඉතිං වෙනදත් තිබුණනේ . ඇයි දැන් එතකොට වෙනදටත් වඩා ලොකු බෝධිපූජාවක්ද තියන්නේ ? " මම ඇසුවෙමි.

" ඔවු, අපේ ලොකු හාමුදුරුවන්ට ලොකු ඒරාෂ්ඨක අපලයක්ලු " අත්තම්මා කම්මුලේ අත ගසාගෙන කීවාය.


මගේ ඇස් ලොකු විය. ග්‍රහ තාරකා වලට කල හැකි කිසිවක් නැති බව බුදුන් වහන්සේ දේශනා කලායැයි මම දහම් පාසලේදී ඉගෙනගෙන ඇත. මරණය ඊ ලඟ මොහොතේ ඒවියැයි සිතා නොපමාව යහපත් ලෙස ජීවත් වන්නට, යහපත් දේ කරන්නට බුදුන් වහන්සේ දේශනා කර ඇති බවද මම දහම් පාසලේදි ඉගෙනගෙන ඇත. එහෙමනම් ලොකු හාමුදුරුවන් වෙනුවෙන් ලොකුම ලොකු බෝධි පූජාවක් හැමදාම තියන්නේ මැරෙනවාට බය නිසාද ? අප්‍රමාදව වැඩ කර ගන්නට ලොකු හාමුදුරුවන්ට ටිකක් ප්‍රමාද උනු නිසාද ? අත්තම්මා මේ කියන්නේ මොකක්දැයි මට ගැටළුවකි.

" හෑ, ලොකු හාමුදුරුවන්ට අපල කියල බෝධි පූජාත් තියනවද ? එතකොට ලොකු හාමුදුරොවෝ මොන ආගමේද ? " මට ඉබේටම ඇසුණි.

අටවෙනි ලෝක පුදුමය දැක්කා වගේ මගේ දිහා බලාගෙන හිටපු අත්තම්මා
" ලොකු හාමුදුරුවෝ බුද්ධාගමේනෙ , ඇත්තටම ලොකු ලමයො ඔයාට පිස්සුද ? " යැයි මගෙන් අසාගෙන යන්නට ගියාය.

Wednesday, February 22, 2017

තනි වුණු මියැසිය ( සත්‍ය සිදු වීමකි )


" නදී උබට කෝල් එකා....ක් "
චතුරි කෑ ගැහුවා.


" අනේ චතූ, කවුද කියල බලපංකො තරහ නැතුව" නදිනි බාත් රූම් එක ඇතුලෙ ඉඳල උත්තර දෙනකොටත් චතුරි ෆෝන් එකත් අරගෙන බාත් රූම් එකේ දොර ලඟ.

" Save කරල නැති නම්බර් එකක් බං. US නම්බර් එකක් වගේ . දොර ඇරපන් , මම ෆෝන් එක ගෙනාව "

බාත් රූම් එකේ දොර යන්තමින් ඇරල අත එලියට දාපු නදිනි චතුරිගෙන් ෆෝන් එක ඉල්ල ගත්තා. රෙදි හෝදන බේසමට වතුර එකතු වෙන්න ඇරල තිබුණ ටැප් එක වහල දාපු  නදිනි නොදන්න ඇමතුමට "හෙලෝ" කිවුවෙ හිතේ පොඩි චකිතයකින්.

චතුරි සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙ තුන් වෙනි වසරෙ නර්තන අංශයේ . නදිනිත් එම වසරෙම සංගීත අංශයේ. පීඨ දෙකක උනත් චතුරි තමයි පලමු වසරෙ ඉඳලම නදිනිගෙ රූමා. උන් දෙන්න දුක, සැප බෙදා හදාගෙන සහෝදරියො වගේ, සැහැල්ලුවෙන් සතුටින් ජීවත් උන හොඳම යාලුවෝ.

නදිනිට ෆෝන් එක දීපු චතුරි, දෙන්නටම බොන්න තේ හදලා, නදිනිගෙ තේ එක උණුසුම් බෝතලේට දැම්ම. මොකද නදිනි නාගෙන ඇවිත් සීතලයි සීතලයි කියල නටන ඩෙඟාව දැන් අවුරුදු තුනක් තිස්සෙ දන්න නිසා කලින්ම තේකක් හදලා තිබ්බම ලේසියි. තමන්ගෙ තේ එකත් අරගෙන චතුරි  මේසෙ ලඟ වාඩි උනේ ලබන සතියෙ විභාගෙ පටන් ගන්න නිසා, අතපසු වෙලා තිබුණ පාඩම් කීපයක් බලා ගන්න හිතාගෙන.

වෙනදට වඩා ඉක්මනින් බාත් රූම් එකෙන් එලියට ආපු නදිනි, හෙමින් සීරුවෙ ඇවිත් බාත් ටවල් එක පිටින්ම ඇඳේ කොණක වාඩි උනා. මූණ බිමට හරවගෙන කල්පනාවක්. නදිනිගෙන් පිටවෙන දිග සුසුමක හඬ චතුරිට මීටර් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

ඉද්ද ගැහුව වගේ පුටුවෙන් නැඟිට්ට චතුරි ක්ෂ්ණයකින් නදිනි ලඟ.

" නදිය, මොකද බං උනේ ? කාගෙන්ද කෝල් එක ? ඇයි උඹ අඬන්නෙ ? "

චතුරිට මේක ප්‍රහේලිකාවක්. වෙනදට පිස්සු කෙලින රූමා, මෙහෙම අඬද්දි චතුරිටත් සෑහෙන්න අවුල්. ඉඳල ඉඳල පොඩි පොඩි දේවල් වලට ඇඬුවත් මේ අවුරුදු තුනටම නදිනි මෙහෙම හූල්ලනව චතුරි දැකලම නෑ.

හීන් සීරුවෙ පුටුව ඇදල නදිනි ලඟට ගත්තු චතුරි නදිනිගෙ ඉස්සරහින් වාඩි උනා.

"නදියා, මොකද උනේ කියපන්"

වහින්න ඔන්න මෙන්න තිබුණ කළු වලාකුලක් එක පාරටම කඩා වැටිල අනෝරා වැස්සක් ඇද වැටෙන්නා වගේ, නදිනිගෙ ඇස් වලින් කඳුලු කැට කඩා වැටෙන්න ගත්ත.

නදිනිට අඬන්න දීල චතුරි හෙමිහිට ඇයව තමන්ගෙ උරහිසට වත්තම් කර ගත්තා. ටික වෙලාවකින් අඬන එක අමාරුවෙන් නවත්තගෙන නදිනි වචන ගලපන්න ගත්ත ඉකි බිඳුම් මැදින්.

" චතූ "..
" කියපන් මචං, මොකද උඹට උනේ ? "  නදිනිගෙ කෙහෙරැලි අතරි හෙමිහිට හිස පිරිමදින ගමන් චතුරි ඇහුවා.

"චතූ,  සහන් අයියා.. පේරදෙණිය කැම්පස් එකේ සිවිල් ඉංජිනියරිං කරන්නෙ.." නදිනි කතාවට මුල පිරුවා

" ඔවු ඉතින් මම නොදන්න එකෙක්යෑ සහන්, අර උඹට කෝල් කරන්නෙ, උඹේ ෆේස්බුක් එකෙත් ඉන්නව නේද,  හැබැයි සහන් උඹට කාලෙකින් කෝල් එකක්වත් දුන්නෙ නෑනෙ, ෆේස්බුක් එකෙන්වත් අප්ඩේට් දැක්කෙ නෑ කියල උඹ කිවුව නේද ? ඉස්සර උඹට හැමදාම ගුඩ් මෝනිං, ගුඩ් නයිට්, කෑවද, කියල මෙසේජ් එනවනෙ සහන්ගෙන්, අන්තිමට පොල්ලෙන් ගැහුව වගේ ඒකත් නැවතුනා, සමහරදාට උඹ ගිටාර් ප්ලේ කරනව අහන්න කෝල් කර කර උන්න, ඒව මොනවත් දැන් නහැනෙ, දැං මොකද කියන්නෙ, රට ගිහින්ද ?"  චතුරි ඇහුවෙ විමතියෙන්.

චතුරිගෙ ආවර්ජනයත් එක්ක නදිනිගෙ හිත අවුරුද්දක් තරම් මෑත අතීතයට ආපහු ඇදිල ගියා.

සහන් කියන්නෙ පේරාදෙනියෙ ඉංජිනේරු පීඨයෙ ශිෂ්‍යයෙක්. සහන්ව නදිනිට මුන ගැහෙන්නෙ අන්තර් විශ්ව විද්‍යාලයීය කළා උළෙලකදි,  මීට වසරකට විතර කලින්. නදිනි සෞන්දර්‍ය විශ්ව විද්‍යාලයෙ බටහිර සංගීතය හදාරමින් ඉන්නකොට ඇයටත් අවස්ථාව ලැබුණා කළා උළෙලට සම්බන්ධ වෙන්න. චතුරිත් නර්තන අංශයෙන් එයට සහභාගී උනා. සහන් ඇවිත් උන්නෙ යාලුවොත් එක්ක කලා උළෙල බලන්න. මොකද කලා උළෙල සංවිධානය කලේ පේරාදෙනිය විශ්ව විද්යාලයෙ සහන්ලගෙ වසරෙ සියලුම සිසුන් එකතු වෙලා.

සංදර්ශනය අතරතුර අහම්බෙන් අඳුන ගත්තු සහන්, නදිනි පස්සෙ ටික ටික යාලුවො උනා, සමහර විට යාලුකමට එහා ගිය බැඳීමක් මේ දෙන්න අතර තිබුණෙ නමුත්, එය දෙන්නගෙම හිත් වල හිර කරගෙනයි උන්නෙ . දවසට දෙතුන් පාරක් කෝල් කරල, නදිනිගෙ සැපදුක අහන සහන්, සමහරදාට කෝල් නොකලොත් එදාට නදිනිට පාළුවක් දැණුනා. එහෙම වෙලාවට නදිනි සහන්ට කෝල් කරල බලනව මොකද වෙලා තියෙන්නෙ කියල. සහන්ට හෙම්බිරිස්සාවක්  වගේ අසනීපයක් හරි හැදුනම නදිනිගෙන් ඉතින් උපදෙස් කෝටියයි.

සමහර දාට රෑ වෙලා සහන් නදිනිට කෝල් ගන්නෙ ඇගෙන් ගිටාර් වාදනයක් බලාපොරොත්තුවෙන්. ෆෝන් එක ලවුඩ්ස්පීකර් දාල නදිනි සහන් වෙනුවෙන් ගිටාරය වාදනය කරනව. වාදනය ඉවර උනාම සහන්ගෙන් ලැබෙන අගය කිරීම් ඉවරයක් නෑ. ටිකක් වෙලා කතා කර කර, හිනා වෙවී ඉඳල කෝල් එක කට් කලාම දෙන්නටම පාළුයි.

මේ සේරම බලාගෙන ඉන්න චතුරි හැමදාම නදිනිගෙන් අහන ප්‍රශ්නයක් තිබුණ.

"නදියා, උඹල දෙන්න මොකක්ද බන් ඔය කරන්නෙ ? මොකක්ද ඔය සම්බන්දෙ ? ලව් ද ? යාලුකමක්නම් නෙමෙයිනෙ බන් ඕක, එක්කො උඹ අහන්න ඕන, නැත්නම් ඌ අහන්න ඕන. උඹල දෙන්නගෙම මහන්තත්තකමට ඉස්සර වෙන්නෙ නෑ"

ඔහොම ඉන්න අතරෙ, මීට මාස දෙකකට විතර කලින් දවසක් සහන් කෝල් නොකලෙ ඇයි බලන්න නදිනි සහන්ට කෝල් එකක් ගත්ත, එයට පිලිතුරු දුන්නෙ සහන්ගෙ මව.
"සහන් ඉන්නවද ?" නදිනි ඇහුවා
"සහන් අසනීප වෙලා හොස්පිටල් එකේ දුව, මම සහන්ගෙ අම්මා. කවුද මේ කතා කරන්නෙ ?"
"මම සහන්ගෙ කැම්පස් යාලුවෙක්" නදිනි කිව්වා
"මට දුවගෙ නම කියන්නකො, මම සහන්ට කියන්නම් ඔයා කතා කලා කියලා"
"මම නදිනි" ඇය සහන්ගෙ මවට පිළිතුරු දුන්නා.

දවස් කීපයක් ගත වුනා, සහන්ගෙන් කෝල් එකක් නෑ, ෆෝන් නම්බර් එකත් වැඩ නෑ, ෆේස්බුක් එන්නෙත් නෑ. සහන්ව සම්බන්ධ කර ගන්න විදියක්  ඇත්තෙම නැති තැන
" එයාට ඕනනම් මට කතා කරයිනෙ " කියල නදිනි හිත හදා ගත්ත.

සමහර වෙලාවට මතක් වෙද්දි මහ පාළු ගතියක් හිතට දැනුණම චතුරි එක්ක සහන් ගැන කතා කලා, හැබැයි ඒ වෙලාවට චතුරි කලෙත් නදිනිටම බනින එක.
"උඹල දෙන්නම ලොකු කමට හිතේ තියෙන දේ නොකියා උන්නනම්, දැන් ඉතින් නාහෙන් අඬන්නැතුව පාඩුවෙ හිටපන්" එහෙමයි චතුරි කිව්වෙ.

අන්තිමට චතුරි එක්කවත් සහන් ගැන කතා නොකර මතකය හිත ඇතුලෙ විතරක් තියාගෙන නදිනි සහන්ගෙන් පණිවිඩයක් එන තුරු මඟ බලන් උන්නා.

" නදී, ඒ ගමන මොනවද උඹ හූල්ල හූල්ල කල්පනා කරන්නෙ ? මට දැන්වත් කියපන්කො මොකක්ද උනේ කියලා.." චතුරිගෙ හඬින් නදිනිගෙ දැහැන බිඳුනා.

නදිනි හිමීට ඔලුව උස්සලා චතුරිගෙ මූණ දිහා බලද්දි ඇස් වල පිටාර යන කඳුළු  දෙකොපුල් දිගේ ගලාගෙන ඇවිත් බිමට වැටුණා.

" මට කෝල් කලේ සහන්ගෙ අයියා, ඇමරිකා වල ඉඳන් " නදිනි ආයාසයෙන් හඬ අවදි කලා.

" සිරාවට ? , ඉතිං ඇයි උබ අඬන්නෙ, සහන් උඹගෙ නම්බර් එක අයියට දීලද උඹට කතා කරන්න කියල ? අයිය මොනවද කිව්වෙ, උඹලගෙ කසාදෙ ගැන කතා කර ගන්න ලන්කාවට එනව කිව්වද ? උඹ ඔය අඬන්නෙ සතුටටද නදියෝ ? "
චතුරි පිස්සුවෙන් වගේ නදිනිව බදා ගත්තා. චතුරිගෙ දෑත් වල හිර වෙලා නදිනි ආයෙම ඉකි බිඳිනවා.

" මේ මොකද කෙල්ලෙ ? " චතුරි ඇහුවා.

" සහන්ට අසනීප වෙලා බෙහෙත් කරන්න ඇමරිකාවට එක්ක ගියාලු චතූ" නදිනිගෙ උත්තරෙන් චතුරි ටිකක් වික්ෂිප්ත උනා.

" මොකක්ද බං සහන්ට එක පාරටම හැදුන අසනීපෙ, එහෙනම් කොල්ල උඹට කෝල් කරන්නැතුව උන්නෙ උඹ කලබල වෙයි කියල වෙන්න ඇති. හරි හරි ඉතිං සහන් බෙහෙත් අරං ලන්කාවට එනකල් අපි ඉවසමු නදී, දැන් ඉතින් අඬන්නැතුව ඉඳපන් හොඳ ලමය වගේ" චතුරිටත් පොඩි වචනයක් ඇති දිග කතාවක් පටන් ගන්න.

චතුරිගෙ අත් දෙක හයියෙන් අල්ල ගත්තු නදිනි අයෙමත් තමන්ගෙ හඬ වදි කලේ ඉකිබිඳුමකුත් එක්ක.

" සහන් මගෙ නම්බර් එක අයියට දුන්නලු මට කතා කරන්න කියල, හැබැයි  සහන් ආයෙ එන්නෙ නෑ චතූ, සහන් ආයෙ කවදාවත්ම එන්නෙ නෑ, මම ගිටාර් ප්ලේ කරනව අහන්න, බලන්න සහන් ආයෙ කවදාවත් එන්නෙ නෑ චතූ, සහන්ව බේර ගන්න බැරි උනා කියල සහන්ගෙ අයිය මට කිව්වා "
වේදනාවෙන් මිරිකෙමින් ඒ වචන ටික අමාරුවෙන් පිටකරපු නදිනි චතුරිගෙ උර මත මුහුණ හොවාගෙන මහ හයියෙන් අඬන්න පටන් ගත්තා.