Saturday, January 14, 2017

අවසර හාමුදුරුවනේ.. ( සත්‍ය සිදු වීමකි )


අපේ අත්තම්මා හැම අවුරුද්දෙම ජනවාරි මාසෙ පන්සලේ සිල් සමාදන් වුණු උපාසක උපාසිකාවන්ට තමන්ගෙ දායකත්වයෙන් ධර්ම දේශනාවක් සූදානම් කරනව. වෙනද වගේම මේ අවුරුද්දෙත් ඔන්න දායක සභාවෙ සභාපතිතුමා මාර්ගයෙන් පිරිවෙණකින් භික්ෂූන් වහන්සේ නමක් වැඩම කෙරෙව්වා බණට.

උපාසක පිරිස උදේ දානය එහෙම අහවර වෙලා ටික වෙලාවකින්, අවුරුදු දාසයක දාහතක පෙනුමේ සාමණේර හිමි නමක් බණට වැඩම කලා. අත්තම්මත් බොහොම ගරු සත්කාර ඇතුව හාමුදුරුවන්ව පිළි අරගෙන ධර්මාසනයට ආරාධනා කලා.

හාමුදුරුවො නමස්කාරය එහෙම කියල, ධර්ම දේශනාව පටන් ගත්තම උපාසක පිරිස දොහොත් මුදුන් දීල "සාදු සාදු සා" කිව්වා බොහොම ශ්‍රද්ධාවෙන්.

දැන් ඉතින් ඔන්න අපේ පොඩි උන්නාන්සෙත් ධර්මය දේශනා කරන්න කලින් පඩික්කමට කෙල පිඬකුත් හෙළල, උගුරෙ රැල් බුරුල් ඇරල  ලක ලෑස්ති වුනා.

" පිංවත්නි, අද මේ උතුම් පෝය දවසේ, මේ උපාසක ඇත්තන්ට ධර්මානුශාසනාවක් කරන්නට මට ආරාධනා ලැබුණ, මම හිතුව මේ පින්වතුන්ට අද රටේ තත්වය ටිකක් තේරුම් බේරුම් කරල දුන්නොත් හොඳා කියන එක. 

ශ්‍රද්ධාබුද්ධි සම්පන්න පින්වතුනි, බලන්න  අද අපේ රටට වෙලා තියෙන දේ, අපේ රට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයන්ට යට වෙලා, රට විනාශ වෙනව, බුද්ධ ශසනය විනාශ කරනව.. බ්ලා බ්ලා බ්ලා... කියල දේශනාව කෙරීගෙන යනව ඔන්න.
ධර්ම ශාලාවෙන් පිටතට වෙලා මේක අහගෙන උන්නු මට ටිකකින් මීටර් උනා හාමුදුරුවො මේ කරන්නෙ දහම දෙසිල්ලක් නෙමෙයි, ඡන්ද වැඩක් නේද කියල. මගෙ හැටි දන්න හන්ද, අපේ නගාත් මගෙ මූණ දිහා බැලුව. හිමීට උන්න තැනින් මාරු වෙච්චි මම නතර උනේ ධර්මාසනේ ලඟ. ධර්මාසනයේ වැඩ උන්නු පොඩි හාමුදුරුවන්ට බොහොම ගරු සරු ඇතුව කිට්ටු වෙලා ටිකක් අවසර ඉල්ලුව.

" අවසර හාමුදුරුවනේ, අද ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු උනේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණු ටිකක් මේ උපාසක පිරිසට ශ්‍රවණය කරන්ඩ සලස්වන්න, ඒත් ඔබ වහන්සේ ධර්මය දේශනා කරන බවක් පේන්න නෑනෙ, මට පේන්නෙ ඔබ වහන්සේ ඡන්ද රැස්වීමක් තියනව වගේ, සමා වෙලා, ඔබ වහන්සේට පුළුවන්ද බුදු දහම ඇසුරෙන් දේශනාවක් කරන්න ?"
කියල ඇහුව මම එතනින් ඉවත් උනා. මොහොතක් නිස්ෂබ්ද උන හාමුදුරුවො ආයෙම හඬ අවදි කලා, 

" පිංවතුනි, මට දැන් ඉල්ලීමක් ලැබුණා බුදුන් වහන්සේගේ ධර්මය දේශනා කරන විදියට, එහෙමනම් පින්වතුනි ධර්ම දේශනාව එහෙනම් මෙතනින් ඉවරයි , හැමෝම වන්දනා කර ගන්න, පින් අනුමෝදන් වෙන්න"
 කියල  පින් අනුමෝදන් කරපු අපේ හාමුදුරුවො ධර්මාසනයෙන් ඉවත් වෙලා ආපහු වැඩම කලා.




4 comments :

  1. මේක මුහුණු පොතෙන් කලින් කියවා රස වින්දාට ආයෙම ඔන්න කියෙව්වා...ඇත්තෙන්ම අද කාලෙ බණ කියන්න එන හාමුදුරුවො කියන්නේ බුදුන් වදාල දහම නෙවෙයි...දේශනා කලත් හරි පොඩ්ඩයි ,...වැල් වටාරම් තමා වැඩි...
    ඒ මොකක් වුණත්...ඉතින් බණට ආව අය ඔයාට බනින්න ඇති නේද

    ReplyDelete
    Replies
    1. ඔවු, බණ අහන්න ආව අයත් බනින්න ඇති, හාමුදුරුවොත් බැන බැන යන්න ඇති, ඒත් බොරුව, වංචාව, රැවටිල්ල, කපටිකම ඉස්සරහ නිහඬව ඉන්න මම කවදාවත් සූදානම් නැහැ සහෝදරී

      Delete
  2. ඒ කියන්නේ බණ දේශනා කලේ නෑ ? අය්යෝ ! මොකට කාලේ කන්න 'වැඩමකලාද'?

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න අති මහත් බහුතරයක් චීවරධාරීන් ධර්මය දේශනා කිරීම වෙනුවට කරන්නෙ දේශපාලනය, මිනිසුන් භේද කිරීම, මිථ්‍යා මත වැපිරීම, මිනිසුන් රවටමින් තමන්ගෙ සුඛ විහරණය සලසා ගැනීම

      Delete