Thursday, February 23, 2017

අපේ ලොකු හාමුදුරුවෝ

අපේ පන්සල ගොඩාක් ලොකුය. පන්සලේ ලොකු හාමුදුරුවෝද පොඩි වැඩක් කරන්නේම නැත. කාලයක් ලොකුම ලොකු කැලෑවක ආරණ්‍යවාසීව උන්නා කියා කියනවා මා අසා ඇත. ලොකු හාමුදුරුවෝ ආපු අලුතම කියා තිබුණේ අපේ පන්සල තවත් ලොකුවට සාදා, ලොකු බුදු පිළිමයකුත් හැදුවාට පස්සේ ආයෙම අර ලොකු කැලෑවේ භාවනා කරන්නට යන බවය. අපේ අත්තම්මලා, අම්මලා එහෙම කියනකොට " ඇත්තටම හාමුදුරුවෝ ආපහු යයිද ? " කියා වරෙක මම ඔවුන්ගෙන් ඇසුවෙමි .


ලොකු හාමුදුරුවෝ ආපු අලුතම ලොකු බෝධි පූජාවක් පටන් ගත්තා මතකය. සෙනසුරාදා ඉරිදා හැන්දෑ වන විට අපේ ගමේ වැඩිහිටියෝ පොඩි උන්වද ඇදගෙන පන්සලට යන්නේ එක එක තාලෙට ලොකු හාමුදුරුවන් කියනා බෝධි පූජා කවි අහන්නටය. 
 
ලොකු හාමුදුරුවෝ ගැන පැහැදුන අපේ දායක සභාවේ ලොකු ලොක්කන් එකතු වී උපාසක සමිතියේ වියදමින් ලොකු හාමුදුරුවන්ව දඹදිව වන්දනාවට වැඩැම්මුවා මට මතකය. ඊට පස්සේ අවුරුද්දක් ගානේම ලොකු හාමුදුරුවන් දඹදිව වඩින්නට පටන් ගත් අතර දායක සභාවෙන් ඒ සියලු වියදම් ලොකුවටම කර දුන්නාය.

ඊ ලඟට අපේ ලොකු හාමුදුරුවන්ට උවමනා උනේ ලොකුම ලොකු බුදු පිළිමයක් හදන්නටය. ගමේ ලොකු ලොකු සල්ලි කාරයන් මෙන්ම පොඩි පොඩි රැකියාවල් කරන අය පවා මුදලින් ශ්‍රමයෙන් ලොකු හාමුදුරුවන්ට උපකාර කලෝය. බුදු පිළිමය හදා අවසන් විය. පිළිමය හිටි පිළිමයකි. ලොකුය. ලස්සනය. එතන දැන් පිං කැටයක්ද ඇත. ලොකු ලොකු ගමන් යන අයද වාහන නවතා කැටයට සල්ලි දමති.

බුදු පිළිම වහන්සේගේ වැඩ නිම වුවද, අපේ ලොකු හාමුදුරුවන් ආපහු ලොකු කැලෑවේ භාවනා කරන්නට වැඩියේ නැත. ලොකු හාමුදුරුවන් ටික දවසකින් ලොකු වෑන් එකක් පන්සලට ගත්තේ ගමන් බිමන් යෑමේ පහසුවටය. අහල පහල පන්සල් වලින් පවා උත්සව වෙලාවට අපේ පන්සලට එන්නේ ලොකු හාමුදුරුවන් ලඟ ඇති ලොකු කැමරාව ඉල්ලා ගන්නටය. එය අපට ලොකු ආඩම්බරයකි. වසරක් ගානේ දඹදිව වඩින ලොකු හාමුදුරුවන්ට ලොකු කැමරාවක් නැතුවම බැරිය.

ලොකු හාමුදුරුවන්ට දෙන දානය ලොකු ප්‍රමිතියක් තිබිය යුතුය. එහෙම නැති විට මොන ලොක්කාගේ දානය උනත් ආපසු හරවා යවන්නට ලොකු හාමුදුරුවන් දෙපාරක් හිතන්නේ නැත. වතාවක් අපේ ගමේ නැන්දා කෙනෙකු උදේ දානයට ඉඳි ආප්ප, සම්බෝල සමඟ අල කිරට උයාගෙන ගිය විට "මේවා මට වළඳන්ට බෑ, මට වළඳන්ට බත් සහ අහවල් අහවල් ව්‍යන්ජන ඕනෑ" යැයි පවසා නැන්දාව හැරෙන තැපෑලෙන් ගෙදර එවා තිබුණා මතකය.


පිරිකරට අපි දෙන්නේද හොඳම දේවල්ය. සෙන්සොඩයින් නැත්නම් දත් මදින්නට ලොකු හාමුදුරුවන් කැමති නැත. ලොකු හාමුදුරුවන්ගේ දත් සෙට්ටෙකට සෙට් වෙන්නේ සෙන්සොඩයින් පමණක් බව අපේ ගමේ අය දැන් දනිති.

වතාවක් අපේ ගමේ ගෙදරක සත් දවසේ දානයට අපේ ලොකු හාමුදුරුවන් සමඟ අහල පහල පන්සල් වල ලොකු හාමුදුරු වරුද වැඩියහ. දානය අවසානයේ පිරිකර පූජා කරද්දී ගෙදර උදවිය සියලුම හාමුදුරු වරුන්ට අට පිරිකරක් බැගින්ම ගෙනැවිත් තිබුණි. සියල්ලන්ටම පිරිකර පූජා කර අවසානයේ අපේ ලොකු හාමුදුරුවන්ට අටපිරිකර සහ තවත් ටිකක් වැඩියෙන් පිරිකර පූජා කලෝය. වහාම අට පිරිකර ඉවතට තල්ලු කර දැමූ ලොකු හාමුහුරුවෝ කිවුවේ " මේ බාල අටපිරිකර මම පාවිච්චි කරන්නෙ නෑ " කියාය. අපිට දැණුනේ ලොකු ආඩම්බරයකි. අනිත් පන්සල් වල ලොකු හාමුදුරුවරු වගේ අපේ ලොකු හාමුදුරුවෝ ආවට ගියාට පිරිකර පිළි ගන්නේ නැත.

තවත් වතාවක් ලොකු තරුණ නඩයක් සමඟ යාපනයේ වන්දනා චාරිකාවක ගිය ලොකු හාමුදුරුවන්ගේ වෑන් එකට යට වුණු දෙමල මිනිසෙකු මිය ගොස් තිබුණේය. නඩුවට යාපනේ යන්නට සිදු උනේ වාහනයේ රියදුරාට නොව, ලොකු හාමුදුරුවන්ටය. ලොකු හාමුදුරුවන් අතින් ඒ මනුස්සයා හැප්පෙනකල් වාහනය පදවපු රියදුරා මොනවා කලාදැයි මට ඇති උනේ පුදුමයකි.


ලඟදී ඉඳලා අපේ ගමේ උදවිය වෙනදාටත් වඩා වැඩියෙන් ලොකු මල් ගොඩක් කඩාගෙන, වැඩි වැඩියෙන් තෙල්, ලොකු ලොකු හඳුන් කූරු පෙට්ටි අරගෙන පවුල් පිටින් පන්සල් යති. අපේ අත්තම්මා ඔහොම දවසක පන්සල් ගිහින් ගෙදර ආවාට පස්සේ මට ඇසීමට ලොකු ප්‍රශ්න ගොඩක් තිබුණි.


" ඇයි වෙනදාටත් වඩා ලොකු උනන්දුවකින් හැමෝම පන්සල් යන්නෙ පවුල් පිටින් " මම ඇසුවෙමි.

" දැන් ඉස්සරටත් වඩා ලොකු බෝධි පූජාවක් තියෙනවානේ " අත්තම්ම පිළිතුරු දුන්නාය.

" ඉතිං වෙනදත් තිබුණනේ . ඇයි දැන් එතකොට වෙනදටත් වඩා ලොකු බෝධිපූජාවක්ද තියන්නේ ? " මම ඇසුවෙමි.

" ඔවු, අපේ ලොකු හාමුදුරුවන්ට ලොකු ඒරාෂ්ඨක අපලයක්ලු " අත්තම්මා කම්මුලේ අත ගසාගෙන කීවාය.


මගේ ඇස් ලොකු විය. ග්‍රහ තාරකා වලට කල හැකි කිසිවක් නැති බව බුදුන් වහන්සේ දේශනා කලායැයි මම දහම් පාසලේදී ඉගෙනගෙන ඇත. මරණය ඊ ලඟ මොහොතේ ඒවියැයි සිතා නොපමාව යහපත් ලෙස ජීවත් වන්නට, යහපත් දේ කරන්නට බුදුන් වහන්සේ දේශනා කර ඇති බවද මම දහම් පාසලේදි ඉගෙනගෙන ඇත. එහෙමනම් ලොකු හාමුදුරුවන් වෙනුවෙන් ලොකුම ලොකු බෝධි පූජාවක් හැමදාම තියන්නේ මැරෙනවාට බය නිසාද ? අප්‍රමාදව වැඩ කර ගන්නට ලොකු හාමුදුරුවන්ට ටිකක් ප්‍රමාද උනු නිසාද ? අත්තම්මා මේ කියන්නේ මොකක්දැයි මට ගැටළුවකි.

" හෑ, ලොකු හාමුදුරුවන්ට අපල කියල බෝධි පූජාත් තියනවද ? එතකොට ලොකු හාමුදුරොවෝ මොන ආගමේද ? " මට ඉබේටම ඇසුණි.

අටවෙනි ලෝක පුදුමය දැක්කා වගේ මගේ දිහා බලාගෙන හිටපු අත්තම්මා
" ලොකු හාමුදුරුවෝ බුද්ධාගමේනෙ , ඇත්තටම ලොකු ලමයො ඔයාට පිස්සුද ? " යැයි මගෙන් අසාගෙන යන්නට ගියාය.

6 comments :

  1. ලොකුම ලොකු කතාවක් නොව...ලොකු ලමයො මේක..හැබෑටම ලොකු හාමුදුරුවො අපවත් වුනොත් එහෙම ලොකුම ලොකු අවමංගල සබාවක් හේමත් තියේවි නේද...

    ReplyDelete
    Replies
    1. බුද්ධ ශාසනය පවා වෙනස් වෙනව, විනාශ වෙනව, එයට මුල පුරන්නෙ ශාසනය තුලින්ම, ශ්‍රාවකයන් ( සංඝයා වහන්සේලා) ම බව බුදුන් වහන්සේ දේශනා කලා, දැන් එය ආරම්භ වෙලා.

      Delete
  2. හැබෑටම ලොකු ළමයො.. මෙතැන පොඩි එකෙක්කත් නෑනේ... ඔක්කොම ලොකුයි.
    හාමුදුරුවන්ට ඕනා හැටියට නටන දායකයින් සිටිද්දී හාමුදුවන්ට පමණක් දොස් කීම වැරදියි. මහණකමට පැමිණෙන්නේද මේ සමාජයේම තවත් පුද්ගලයෙකි. දුසිල්වත් කමට උදව් කරනතාක්කල් ඔය සෙල්ලම යයි.

    ReplyDelete
    Replies
    1. මදි මදි... පන්සලක් උනාම දේවාලයක් එහෙම තියෙන්න එපැයි. අටවිසි බුදුහාමුදුරුවන්, බෝධිසත්ව රූප ; පුළුවන් නම් රාවනා රූප එහෙම නැත්තම් ඒක පන්සලක්ද? ආ... දැන් කට ඇරන් ඉන්නේ මේ පාරවත් අලි ඇත්තු දුසිම් දෙක තුනක් එක්ක පෙරහරක් වත් සුජානන් කරනවා හොඳයි. දහම් පාසලටත් කොන්සර්ට් එකට ස්පොන්සර් කෙනෙක් හොයල ඕනේ හොඳේ? හා... ඈ ?

      Delete
    2. සේරම ලොකු වැඩ ලියන්ඩ ගියානම් කියවලා එපා වෙනවා. කියවන්න ආස හිතෙන ටික ලියලා අනිත් ටික අමතක කරලා දැම්මා

      Delete
    3. චා... චා... චා... යේක අරි නේ ලොක්කු ළමයා..... යේම කුරාන්ට යෙපා

      Delete