Thursday, September 16, 2021

අ(සම්මුතිය)

" මචං, සැලරි දාල. "

ජනක කියනකොටයි මම පියවි සිහියට ආවෙ.

 

"උන්න දා අපි අපේ වී

නුඹ දුන්න සෙනෙහස අරුමැතී

ලෝබ නෑ හිත අහිමි දා අද

මමත් දැන් මට හිමි නැතී.."'


කරුණාරත්න දිවුල්ගනේගෙ හඬට සම වැදිල මම මෙතෙක් වෙලාවක් හිටියෙ වෙනනම ලෝකෙක.

"ජනා, මම පොඩ්ඩක් එලියට යනව. පෙටා වලට ගිහිල්ල එන්න ඕන. හෙට දෝනිට අකුරු කියවනව මචන්. පොත් ටිකක් ගන්න ඕන. ඕෆ් වෙලා ගන්න හිටියොත් ට්‍රේන් එක මිස් වෙනව. ලොක්ක ඇහුවොත් කියපන් මම ලන්ච් වලට එලියට ගියා කියල."

සෙලින්කෝ බිල්ඩිමේ 9 වෙනි තට්ටුවෙ ඉඳල පහලට එන අතරෙ මම පික්මී වලින් ටුක් ටුක් එකක් දා ගත්ත. මම පාරට එනකොටම ටුක් එකත් එතන. 

හෙට්ටි වීදියට යන්න ඕන. නිලේඛා ජ්වෙලරි එකට. විනාඩි හය හතකින් මම හෙට්ටි වීදියෙ. කොමර්ෂල් එකට ගිහින් රු. 50000 ක් ගත්ත මම පර්ස් එකේ තිබුණ සල්ලි ටිකත් එක්ක ඒකත් එකටම තියල ආපහු පර්ස් එකට දැම්ම. සේරම 1,75000 ක් තියෙනවනෙ. ඇති වෙයි. 

"සර්, එන්න. වාඩි වෙන්න. මොනවද බැලුවෙ ?"

නළලෙ තිලකයක් තිබ්බ හැඩකාර යුවතිය බොහොමත්ම ආචාරශීලී විදියට මගෙන් ඇහුවෙ නිලේඛා එකට ඇතුල් වෙනකොටම. 

"ම්ම්ම්... මගෙ යාලුවෙක් මීට සතියකට කලින් මෙහෙන් වෙඩිං රිංස් හදන්න දුන්න. ඒකට පේමන්ට් එකක් කරන්නයි මම ආවෙ."

"සර් ලඟ බිල් එකක් තියෙනවද ඇඩ්වාන්ස් කරපු එකක්? "

"නැහැනෙ. "

"නම මොකක්ද සර්?"

"මම පූර්ණ මධුභාෂණ දිසානායක"

"නෑ නෑ. සර්ගෙ නම නෙමෙයි. යාලුවගෙ නම කියන්නකො සර්"

මේ දවස් වල හැම දේම පැටලෙනව. ඔෆිස් එකේ වැඩත් එහෙමයි. 

"තිළිණ ලක්ෂාන් ජයකොඩි"

"පොඩ්ඩක් ඉන්න සර්ට්, මම චෙක් කරල කියන්නම්"

"ඔව් සර්, ගිය සතියෙ හදන්න දුන්න රිංස් දෙකක්. බ්‍රයිඩ් ඇන්ඩ් ගෲම් දෙන්නට. ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරල තියෙනව ෆිෆ්ටි තවුසන්ඩ්. අපි රිංස් දෙක රෙඩි කරල ඉවරයි. ඒ සර් හෙට එනව කිව්ව කලෙක්ට් කර ගන්න"

"එහෙමද. ගෲම් ගෙ රිං එකට සම්පූර්ණ ගාණ කීයද කියල මට කියනවද ?"

"බිල් එකේ හැටියට 1,65700 ක් වෙනව සර්. "

"හරි, මෙහෙම කරමු. ගෲම්ගෙ රිං එකේ වියදම සම්පූර්ණයෙන් මම ගෙවල යන්නම්."

 මම කිව්වෙ 1,66000 ක් ඇයට දෙන ගමන්.

"මගෙ නම මිස්ට මතකද ? "

මම හිනා වෙන ගමන් ඇයගෙන් ඇහුව.

"අයියෝ, සර් මේ ටිකකට කලින් නම කිව්වනෙ. අනේ සොරි සර්, මට මතක නෑ. ආයෙම කියන්නකො."

"නම අවශ්‍ය නෑ. යාලුවෙක් ඇවිල්ල ගිෆ්ට් එකක් විදියට ගෲම්ගෙ රිං එකට පේ කලා කියන්නකො."

"තව පොඩි උදව්වක් කරන්න පුලුවන්ද මිස්. මට රිං එක බලන්න පුලුවන්ද ?"

"පුලුවන් සර්. ටිකක් ඉන්න. "


"කොහේ හෝ නුඹ නතර වී

කාට හෝ ජීවිතය දී

තුටින් නම් මට ඒ ඇතී

මගේ නොවුණට කම් නැතී..."


දිවුල්ගනේගෙ හඬ ආයෙමත් හිතේ කොහේ හරි ඇහෙනව වගේ.

"මෙන්න සර්". කැටයම් රටා මොනවත්ම නැති ලස්සන රිං එකක්. 

"මම මේකෙ ෆොටෝ එකක් ගත්තට කමක් නැද්ද ? "

"කමක් නෑ සර්. "

උත්තරේ ලැබෙන්නත් කලින් මම ෆොටෝ එක ගත්තට, ඇයි මම ඒ ෆොටෝ එක ගත්තෙ කියල මමවත් දැනගෙන හිටියෙ නෑ.

"මෙන්න සර් බිල් එක."

"එපා, ඕක එයාලට දෙන්න."

මම එතනින් පිට වුණේ ලොකු හිස් කමක් හිතේ දරාගෙන.

පයින්ම ගුණසේන එකට ගිහිල්ල දෝණිට අකුරු කියවන්න ඕන හෝඩි පොත්, පාට පැන්සල්, එක්ක සිබිල් වෙත්තසිංහගෙ ලමා පොත් ටිකක් ගත්ත ලොක්කටත්.

රනුදි විහන්සා දිසානායක. මගෙ පොඩි දෝණි. අවුරුදු දෙකයි මාස අටයි. අකුරු කියවන්නෙ හෙට.

චාරුණීගෙන් පෙරේද කෝල් එකක් ආවමයි මම දන්නෙ හෙටයි අකුරු කියවන නැකත කියල. මාස හය හතකට කලින් මම රාජගිරියෙ බෝඩිමක නැවතුණේ දරුවන්ගෙම හොඳට. 

සනිරු චනුදිත දිසානායක. ලොක්කට වයස 5 යි. ලබන අවුරුද්දෙ එක වසරට. 

දරුවො දෙන්නගෙන් ඈත් වෙලා බෝඩිමක නැවතුණාට පස්සෙ ජීවිතේ බාගයක් හිස් වෙලා ගියා. එක රැයක් මම නැතිව ඉන්නත් බැරි, එක රැයක් මට නැතිව ඉන්නත් බැරි පොඩි උන් දෙන්නගෙ මූණ දකින්න හැමදාම හවසට වට්සැප් කෝල් එකක් විතරයි මට ඉතුරු වුනේ.

පැයක් විතර දරුවො දෙන්න එක්ක හුරතල් වෙනකොට වෙලාව යනව තේරෙන්නෑ. 

"ඔය දෙන්න දැන් නිදා ගන්නෙ නැද්ද. කෝල් එක ඉවර කරල යන්න ඇඳට."

චාරුණී හැමදාම වගේ කියනකොට 

"තාත්තිට වැඩ වැඩි නිසා ගෙදර එන්නවත් විදියක් නැහැනෙ. ඉක්මනින්ම එනව මැණික. ගූඩ් නයිට්. අයි ලව්  යූ. "

කියල කෝල්  එක කට් කරත්, හිත හදාගෙන නිදා ගන්න පුලුවන් කමක් තිබුණෙ නෑ කිසිම දවසක. සිගරැට් තුන හතරක්, බියර් කෑන් එකක් දෙකක් විතරයි ඒ වෙලාවට ලඟ හිටියෙ. රෑට නොකන එක පුරුදු වුනේ කෙට්ටු වෙන්න නෙමෙයි, බඩගින්නක් නොදැනෙන තරමට හිතේ ගින්න වැඩි කමට. 

චාරුණී අමරසිංහ කියන්නෙ මගෙ බිරිඳ. 

තාමත් දික් කසාද වෙලා නැති නිසා එහෙම කියන්න මට අයිතියක් තියෙනව. අඳුනගෙන කෙටි කාලයකින් කසාද බැන්ද නිසාමද කොහෙද, දෙන්නගෙ නොගැලපීම් මතු වෙන්න පටන් ගත්තෙ කසාදෙන් පස්සෙ. ශාරීරිකව වගේම මානසිකවත් අපි අතරෙ ලොකු බැඳීමක් නෑ කියල තේරෙනකොට කොහොමින් හරි සනිරු අපේ ජීවිත වලට එකතු වෙන්න සූදානමින්. 

දෙන්නගෙ නොගැලපීම් ගලප ගන්නවට වඩා තිබුණෙ දෙන්නට දෙන්න චෝදනා කර ගන්න එක විතරයි. හැම කතාබහක්ම ඉවර වුණේ ලොකු වචන ඝට්ඨනයකුත් එක්ක. 

මොන තරම් විරසක තිබුණත්, දුවෙක් හිටියනම් හොඳයි නේද කියල මම චාරුණීගෙන් ඇහුවෙ දරුවෙක් ඕන කමටත්, ඒ වගේම නැත්තටම නැති වෙමින් තිබුණ සම්බන්ධකම් ආයෙම කොහොම හරි ගොඩ නඟා ගන්න ඕන කියලත් හිතුව නිසා. 

රනුදි අපේ ජීවිත වලට ආවෙඒ විදියට.

දරු දෙන්නෙක් එකතු වුණත්, පවුලක් විදියට, අඹු සැමියන් විදියට අපි අතරෙ තිබුණෙ වඩි හරියක්ම නොගැලපීම්. දවසින් දවස ආයෙමත් පරණ තත්වෙට. 

තුවාල වුණු හිත් එක්ක, ටිකෙන් ටික මේ අඩ දබර වැඩි වෙනකොට ගෙදරින් පිට වෙන්න මම තීරණය කලේ පුලුවන් කමකට නෙමෙයි. දරුවන්ට මේ දේවල් දරා ගන්න බැරි නිසා.

----------------------------------------------------------------------------

තනි වුණ වෙලාවට ෆේස්බුක් එකේ කවියක්, නිසඳැසක් ලියන එක මම ආසාවෙන් කලා. ඒවට වැටෙන කොමෙන්ට්ස් කියවනකොට හිතට ටිකක් විතර සැහැල්ලුවක් දැනෙන්න ගත්ත නිසා, මමත් හිතේ තිබුණ හැඟීම් වචන වල අමුණන්න පුරුදු වුණා.

"මචං, කොහොමද ජීවිතේ ? උඹ හොඳින් නේද ?"

තිළිණ ෆේස්බුක් එකෙන් අඳුන ගත්ත යාලුවෙක්. හිටියෙ සිංගප්පූරුවෙ. මගෙ පෝස්ට් වලට නිතර කොමෙන්ට් දාපු නිසා මට හොඳට හුරුයි. මචං කිව්වට මට වඩා අවුරුදු අටක් විතර බාලයි කියල ටික දවසකට පස්සෙ දැන ගත්තෙ. 

නිතර මැසේජ් එකක් දාල උඹ හොඳින් නේද කියල අහන පුරුද්දක් ඌට තිබුණ. හැමදාම 

"ඔව් මචං, අවුලක් නෑ "

කියල උත්තර දුන්නත්, දවසක් බැරිම තැන 

"මොන හොඳක්ද බං, මැරෙන්න බැරි කමට ජීවත් වෙනව" කියල මම රිප්ලයි කලේ වැඩිය හිතන්නෙ නැතුව. 

ඊට පස්සෙ මගෙ ජීවිත කතාව මම ඌ ඉස්සරහ දිග ඇරිය. එදා දැණුන සැහැල්ලුව නිසා මම ඌට දහ දොලොස් වතාවක් පින් දුන්න. නිතර මම හොඳින් ඉන්නවද කියල හොයල බලන එක තිළිණගෙ පුරුද්දක් වුණා වගේම, අපේ මිත්‍රත්වයත් දවසින් දවස වැඩි වුණේ නොදැනිම.

"මම ලංකාවට ආවම උඹව බලන්න එනව. එදාට බොමු දෙන්නම. පිස්සුවක් කෙලිමු. "

"හරි බං, එල. "

තේරුමක් ඇති, තේරුමක් නැති, නමුත් සැනසිල්ලක් සැහැල්ලුවක් ගෙනාව සංවාද ඒ විදියට අවසන් වෙනකොට, ජීවිතේ බෙදා හදා ගන්න ලඟම එකෙක් ඉන්න එක මොන තරම් සැහැල්ලුවක්ද කියල මට හිතුණ.

මැරෙන්නම හිතුණ කීප වතාවක්, නොමැරී ජීවත් වෙන්න ඕන ඇයි කියල ඔලුවට දාල මාව ජීවත් කෙරෙව්වෙ තිළිණගෙ වචන. මම හිතන්නෙ, මම ඌට මාරම විදියට ආදරේ උනෙත් ඒකයි. මිත්‍රත්වයකට, සහෝදරකමකට එහා ගිය ලොකු ලෙන්ගතු කමක්, විශ්වාසයක් අපි අතරෙ ඇති වෙලා තිබුණ. 

දරුවො දෙන්නත් එක්ක චාරුණී වුණත් වෙනදට වඩා සතුටින් ජීවිතය ගෙවනව කියල මට දැණුන. නුරුස්සන මිනිහෙක් එක්ක ඉන්නවට වඩා මෙහෙම වෙන් වෙලා දෙතැනක ඉන්න එක එයාටත් හොඳයි කියල මට දැණුන. ගෙදර වැඩට මාලනී ඉන්න නිසා චාරුණීට තිබුණෙ දරුවො එක්ක කාලය ගත කරන්න විතරයි.

----------------------------------------------------------------------------

"පූර්ණ, ඔයාට විසිටර් කෙනෙක්. "

රිසෙප්ෂන් ඇවිල්ල කිව්වම මම ලොබි එකට යනකොට මෙන්න මූ ඇවිත්. මට හිතා ගන්න බෑ.

"අඩෝ, උඹ කිව්වෙවත් නෑනෙ නිකමට, කවද්ද ආවෙ ?"

"මම ඉතිං උඹව සප්‍රයිස් කරන්න හිතුව. කිව්වනම් වැඩක් නෑනෙ. ලන්ච් වෙලාවෙම ආවෙ උඹ ෆ්‍රී ඇති කියල හිතල. යමුද මොනව හරි බොන ගමන් කතා කරන්න."

"ඕකත් අහන්න දෙයක්ද. යං. "

අපි කෙලින්ම ගියෙ One Galleface. Capital bar and  Grill එකට. බියර් දෙකකුයි, කෑමයි ඕඩර් කරල , මුලින්ම මම කලේ මූට බැන්න එක නොකිය ආව එකට. බැනුම් අහලත් හිනා වෙන එකෙක් දැක්කමයි. 

බියර් කෑන් දෙකක් හිස් කරන අතරෙ කෑම කාල ඉවර වෙනකොට ආගිය තොරතුරු බොහොමයක් හුවමාරු වුණා.

"යමුද එහෙනම්. ආයෙ වෙලාවක සෙට් වෙමු. උඹ ආපහු යන්නෙ කවද්ද ?"

"මාස දෙකක් විතර ඉන්නව. තව පොඩි සප්‍රයිස් එකක් තියේ. මේ බලපං."

ක්‍රීම් පාට ලොකු එන්විලොප් එක අතට අරගෙන මම ඒකෙ තිබුණ කාඩ් එක බැලුව.

"තිළිණ , නිෂාධි අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන්......"

හ්ම්ම්. ලොකු හුස්මක් මගෙ පලුව ඇතුලෙ හිර වෙලා. යමක් මට අහිමි වෙන්න යනව කියන හැඟීම ඇස් වලින් මතු වෙන්න නොදී මම තිළිණගෙ මූණ දිහා බලනකොට, ඒ මූණෙත් තිබුණෙ ගිල්ටි ෆීලිං එකක්ද කියල හිතුණ නිසා, ඒක නැති කරන්න හිතාගෙන මම ආයාසයෙන් හිනාවක් එකතු කරගෙන තදින් වැළඳගෙන ශුභ පතනකොට, අතීතයෙන් ආව තනිකමක් පාලුවක් ආයෙමත් මගෙ හිතේ හිර වුණා.

"ගර්ල් එක්ක හෙට්ටි වීදියෙ නිලේඛා එකට යන්න ඌඑන, මුදු දෙක හදන්න. ගෙදර අය සේරම වෙඩිමට ලෑස්ති කරල ඉවරයි. සති දෙකනෙ මට තියෙන්නෙ. ලොකු වෙලාවක් නෑ. වෙඩිමට එන්නම ඕන හරිද. උඹ ආවෙ නැත්නම් මම බඳින්නෑ. වෙඩිම කැන්සල් කරනව."

වෙනද වගේම තේරුමක් නැති විහිලුවක් කලත්, ඒකට හිනා වෙන්න මට මතක් වුණේ නෑ. 

හෙට්ටිවීදියෙ නිලේඛා එක. ඔව්. ඒ ටික මට මතකයි. ඒ සමු ගැනීමෙන් පස්සෙ මම ආයෙම තනි වුණා. ආයෙමත්, වෙනදටත් වඩා අරක්කු සිගරැට් එක්ක මම මගේ තනිකම බෙදා ගන්න පටන් ගත්ත. 

හැමදාම දවසට දෙපාරක්වත් කෝල් කරල මම ගැන හොයල බලපු එකාට ලංකාවෙ ඉඳලත් මාව බලන්න එන්න, මට කතා කරන්න, කෝල් එකකට ආන්සර් කරන්න වෙලාවක් නැති වෙනකොට මම ආයෙම පරණ පුරුදු විදියටම තනි කම, පාලුව එක්ක එක්කහු වුණා.

දරා ගන්න බැරි වේදනාවකින් හිත පිරෙනකොට, මම තීරණය කලා වෙඩිං එකට යන්නෙ නෑ කියල. කාටවත් කියන්න බැරි වේදනාවක් ආයෙම මාව පාරන්න පටන් ගන්නකොට සමහර මතක උඩට ඇවිත් හිත පාරන්න පටන් ගත්ත.

"ලංකාවට ආවම උඹයි මමයි උඹගෙ ගෙදර බැල්කනි එකට වෙලා බොමු. ජීවිතේ ගැන කතා කරමු. අපි බාලි යමුද. මම ආසයි බං ඇවිදින්න."

ඒ සේරම මතක තිබුණෙ මට විතරමයි.

ගුණසේන එකෙන් එලියට ඇවිත් එතනම තිබුණ කඩේකින් Hutch SIM එකක් ගත්ත මම, reload එකකුත් දාගෙන, 2006 ඉඳල අවුරුදු 15 ක් පාවිච්චි කරපු Dialog සිම් එක ගලවල විසි කරල අලුත් සිම් එක ෆෝන් එකට දාගෙන ඔෆිස් එකට එනකොට ලන්ච් වෙලාව ඉවරයි. වතුර එකක් බීල ආයෙම වැඩ පටන් ගත්තෙ අද පරක්කු නොවී යන්න ඕන නිසා. බෝඩිමේ ඉන්නකොට රෑ වෙලා ඔෆිස් එකෙන් ගියත්, අද එහෙම බෑ. හෙට දෝණිගෙ අකුරු කියවීම නිසා අද ගෙදර යන්නම ඕන.

හිත යකාගෙ කම්මල වගේ. ඒත් කොහොම හරි වැඩ ටික ඉවර කරල ඇවිත්, මහව ට්‍රේන් එක අල්ල ගන්න පුලුවන් වුන එකනම් සැනසීමක්. බස් එකේ යන්න ගියානම් පැය තුනක්වත් පාරෙ. එහෙම වුණානම් මම යනකොට පැටවු දෙන්න නිදි. මාසෙකින් ගෙදර යන්නෙ. දරුවො දෙන්න මතක් වෙනකොට මට ගෙදරට ඉගිලෙන්න හිතුණ.

වේයන්ගොඩට එනකොට 6:45 යි. 

"තිළිණ. " ආයෙම මගෙ ඔලුවෙ හොල්මන් කරන්න පටන් ගත්ත. 

"මොනම හේතුවකටවත් මට උඹව නැති කර ගන්න බෑ. "

දවසක් එහෙම කිව්වම, 

"පිස්සුද බං, මම හැමදාම උඹ ලඟම ඉන්නව, බය වෙන්නැතුව හිටපං."

කිව්ව එකා, මට නැති වෙලා කියල මහා ලෝබ කමකින් හිත පිරෙනකොට ඇස් දෙක බොඳ වෙන්න ගත්ත. ට්‍රේන් එකෙන් බැස්ස මම හෑන්ඩ්ස්ෆ්‍රී කනේ ගහගෙන කාන්චනා අනුරාධිගෙ මම ආසම සිංදුව යූටියුබ් එකෙන් ප්ලේ කලේ, තනියම විඳවන්න ආයෙමත් ඇබ්බැහි වෙන්න පටන් අරගෙන තිබුණ නිසා. 

ඒක සිංදුවක් නෙමෙයි, පිස්සුවක්. 


"සීත හිම මත වතාවක්

නිම වුණා පෙම් කතාවක්

අරුත සඟවා ඔහේ ලියැවුණු 

අකීකරු පෙම් කතාවක්"


කාන්චනාගෙ හඬ ඇහෙනකොට හිතේ තිබුණ මූසලම හැඟීම් සේරම එලියට ඇදිල එනව. පපුව ඇතුලෙන්ම ගිනි තියනව. ඒත් මම ඒ විඳවිල්ලට ආසයි ආයෙමත්.

ස්ටේෂන් එකේ ඉඳල ගෙදරට කිලෝ මීටර් එක හමාරක් ඇති. රේල් පාර අයින දිගේ පයින්ම ගියාම ලේසියි. Platform එකෙන් බැහැල අනිත් පැත්තෙ රේල් පාරට මාරු වෙනකොට මම හිටියෙ සිංදුවෙ අතරමං වෙලා. 

එක පාරටම ඇහෙන ගාලගෝට්ටියක් නිසා මම නැවතුණා. සෙනඟ පිරිල. කවුද කෝච්චියට පැනලලු. සෙනඟ අතරින් මමත් ඉබේම ඒ දිහාවට ඇදුණ. පොල්ගහවෙල train එකේ ආව සෙනඟ හොඳටම බනිනව මැරුණ මිනිහට. 

කාලකණ්නියෙක්, අපිටනෙ පරක්කු වෙන්නෙ ගෙවල් වල යන්ඩ. අන්තිම බස් එක අල්ල ගන්න වෙන්නෑ අදනම්. මේ බොඩි එක අයින් කරල සේරම කරල ඉවර වෙනකොට තව කොච්චර වෙලාවක් යයිද ඉතින්. 

එකම දෝස්මුරයයි. 

ගාඩ්ල ඇවිත් බොඩි එක ඇදල එලියට ගත්ත. 

නිල් පාට ඩෙනිමක්. මම අඳිනව වගේම තද අලු පාට ටී ශර්ට් එකක්. 

මූණක් අඳුනන්න බෑ. බොඩි එක ලඟ වැටිල තිබුණ පර්ස් එකෙන් අයිඩෙන්ටි කාඩ් එකක් එලියට ගත්ත ගාඩ් ඒකෙ තිබුණ නම කිව්ව. 

ඩී. එම්. පූර්ණ බණ්ඩාර දිසානායක. මගෙ පොඩි පැටවුන්ට ගෙනාව පොත්පත්, සෙල්ලම් බඩු බෑග් එක ඊට එහායින් වැටිල තිබුණ. 

"මම කෝච්චියට පැන්නෙ නෑ යකුනේ" 

එහෙම කියල මම කෑ ගැහුවත් ඒක එතන කාටවත් ඇහුණෙ නෑ.

----------------------------------------------------------------------------

මගෙ youtube play list එකේ ඊ ලඟ සිංදුවත් play වෙනව තාම.

"මතක ලන්තෑරුම් අඳුර මැදහු

ස්ම නොතියා ඉන්න තිබුණා

අහම්බෙන්වත් මුරුගසන් වැහි

නොදී ඈතට යන්න තිබුණා

කියන්නම ගිය වචන අමතක

වුණත් මගෙ හදවතට දැනුණා

නොදැනුණා වාගේම උන්නට

සුදු කමිස උරහිසට රිදුණා"

අභිශේකාගෙ හඬත් එක්ක මමත් ඔහේ පා වෙලා ඈතට ගියා

No comments :

Post a Comment