Saturday, April 21, 2018

ඇන්ටිගෙ කසාදේ

මේක අපේ ඔෆිස් එකේ හිතවතියක් සහ, අපිට තේ එහෙම හදල දෙන අපේ හිතවත් "ඇන්ටී" අතර සිද්ධ උන කතා බහක්. 


මම කසාද බඳිනකොට අවුරුදු දාසයයි මිස්.

අනේ ඇත්තද, ඇයි ඉතින් ආන්ටි පොඩි වයසින්ම බැන්දෙ ?

බැන්ද නෙමෙයි මිස්, බඳින්න උනානෙ.

ඒ ඇයි ?

මම ඉස්කෝලෙ යන කාලෙ නෙට්බෝල් සෙල්ලම් කලානෙ මිස්. ඔන්න දවසක් අපි සෙල්ලම් කරනකොට තව ලොකු අයියල වගයකුත් බෝල ගහනව පිට්ටනියෙ. එක අයිය කෙනෙක් බෝලයක් අල්ලන්න දුවගෙන ආව. කොහොම හරි මම ඉන්න ලඟටම ආවම, බෝල පස්සෙ දුවන එක නවත්තල මගෙ අතින් අල්ල ගත්තනෙ, එක පාරටම. අල්ලගෙන කිව්ව "මේ තමා මගෙ කැච් එක" කියල.

ෂා, මාරයිනෙ. ඉතිං ඉතිං ?

ඉතිං මම එතන බිම පෙරලිලා, ඒ අයියගෙ අතේ එල්ලිලා අඬන්න ගත්ත මට ගෙදර යන්න බෑ, මාව කසාද බඳින්න කියල. මම කෑ ගගහ ඇඬුව මට ගෙදරනම් යන්න බෑමයි, මාව කසාද බැඳල එයාගෙ ගෙදරට එක්කගෙන යන්න කියල.

මොකාක් ?

ඔව් මිස්, ඒ ගමන ඒ අයිය මේ මොන හු***ක්ද කියල හොඳ කුණුහරපෙකුත් කියල මගෙ අත ගසල දැම්ම.
මමත් අත ඇරියෙ නෑ, මාව කසාද බඳින්නම කියල පෙරලි පෙරලි ඇඬුව.

ඒක පුදුම කතාවක්නෙ ආන්ටි ? ඇයි ඉතින් එහෙම කසාද බඳින්න කියල ඒ අයියට බල කලේ ?

ඇයි මිස්, එයා අතින් මගෙ ආත්ම ගරුත්වය කෙලෙසුණානෙ.

මොකක් ? ආත්ම ගරුත්වය කෙලෙසුණා ? ඒ කොහොමද ?

අපේ අම්ම මට කියල දීල තිබුණෙ එහෙමනෙ මිස්. කවුරු හරි නාන්දුනන පිරිමි කෙනෙක් ඇවිත් මගෙ අතකින් හරි ඇල්ලුවොත් එදාට මගෙ ආත්ම ගරුත්වය කෙලෙසෙනව කියල.

අම්මටසිරි, ඉතිං ඒ අයිය ආන්ටිව බැන්දද ?

අනේ ඔව් මිස්, ඊට පස්සෙ එයා අපේ ගෙදර ඇවිල්ල අපේ අම්මගෙන් අහල මාව කසාද බැන්ද, එතකොට මට 16 යි. විභාගෙ ලිව්ව විතරයි. ප්‍රතිඵල ඇවිල්ලත් නෑ. මට බතක් උයා ගන්නවත් දන්නෙ නෑ එතකොට.

කසාද බැඳල ඊට පහුවදාත් හරි වැඩක් උනේ. පහුවදා උදේම මම අපේ අයියට කතා කලා, කතා කරල කිව්ව ආයෙනම් මට ඒ මිනිහ එක්ක යන්න බෑ කියල.

හුටා, ඒ ගමන මොකද ?

මම අපේ අයියට කිව්ව " අනේ අයියෙ මටනම් ඒ මිනිහ එක්ක ආයෙනම් යන්න බෑ, මේ බලන්න හැම තැනම සූරල, හපල මගෙ ඇඟ ගන්න දෙයක් නෑ, මමනම් මේ මිනිහ එක්ක යන්නෙ නෑමයි " කියල

බුදු අම්මෝ, ආන්ටි ඕව අයියට කිව්වෙ ඇයි ?

අනේ ඔව් මිස් මම අපේ අයියට කිව්ව, අපේ අයියල මට හරි ආදරෙයිනෙ, අයියල අටක් පවුලෙ, මම බාලය , හැමෝම මට හරි ආදරෙයි, මම ඉතිං ලොකු අයියට කිව්ව එහෙම.

ඉතිං අයිය මොකද කලේ ?

අයිය , මම කසාද බැන්ද මහත්තයව පැත්තකට කතා කරගෙන ගිහින් මොන මොනවද කිව්ව.

ඊට පස්සෙ ?

ඊට පස්සෙ එයා ඇවිත් මට කිව්ව, " මැණිකෙ, මම දැං ඔයාගෙ මහත්තයනෙ, ඔයා මගෙ නෝනනෙ, ඉතිං අපි දෙන්න අතරෙ වෙන දේවල් අනිත් අයට කියන්න එපා, මොනව හරි දෙයක් තියෙනවනම් මට කියන්නකො" කියල. එහෙම කියල මගෙ ඔලුව අත ගෑව.

--------------------------------------

ඔව්, උඩ කතාව කියෙව්වම ඔබට හිනා යන්න ඇති. නමුත් ඕක ඇත්ත කථාවක්. අපේ රටේ මිනිස්සු විවාහය, ලිංගිකත්වය, පවුල, ලිංගික සම්බන්ධතා ගැන අදටත් ඔතනින් එහාට ගිය මහා ලොකු දැණුමක් ඇති මිනිස්සු නෙමෙයි.

අධ්‍යාපනය තුලට උක්ත විෂයයන් ඇතුලත් කලත්, ඒ අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන්න ගුරුවරුන් පවා මැලි වෙනව.

කොටිම්ම කියනවනම්, අපේ රටේ ඔය මාතෘකා මැජික් එකක්, එහෙම නැත්නම් කතා කලොත් ඒක වනචර වැඩක්, එහෙම නැත්නම් ප්‍රසිද්ධියෙ සාකච්ඡා නොකල යුතු දේවල්.

මේ කරුණු ගැන නොදැණුවත් කම නිසා "තවමත්" අපේ රටේ ලාබාල දැරියන් ගැබ් ගන්නව, අඩු වයසින් දරුවන් හදනව, සිය දිවි නසා ගන්නව, කසාද බැන්දත් පවු කාලීනව පවුල් අසාර්ථක වෙනව.

බොහොමයක් පවුල් වල ලිංගික සම්බන්ධතා කියන්නෙ බිරිඳගෙන් සැමියාට වෙන්න ඕන යුතුකමක් කියන තත්වෙල පත් වෙලා. ඔවුන් එය විඳින්නෙ නෑ. ඉතින් ස්වාමිපුරුෂයන් වෙනත් කාන්තාවන් ඇසුරට පෙලඹෙනව. බිරිඳ විදියට තමන්ගෙම සැමියත් එක්ක සතුටු වෙන්න මැලි වන කාන්තාවො, අනියම් සැමියත් එක්ක හැකි උපරිමයෙන් සතුටු වෙනව. සැමියා විදියට තමන්ගෙ බිරිඳගෙන් නොලැබෙන සතුට, අනියම් බිරිඳත් එක්ක හරි අපූරුවට විඳ ගන්නව.

ඔන්න ඔතනයි අපේ රටේ බොහොමයක් පවුල් තියෙන්නෙ.