Saturday, March 25, 2017

කපුරු මල

 
සීතල සුළඟට අවුල් වී ගිය කෙහෙරැලි අතින් සකසා ගනිමින් වෙරෝනිකා ඉක්මන් ගමනින් අඳුරු මාවත දිගේ පිය නැඟුවේ "හෙල්සිං" නගරයේ ජනාකීර්ණම සාප්පුව අසලට යන්නටය. වෙලාව රාත්‍රී 9.00 ද පසු වී ඇත. මාවත් දිගේ දැල්වෙන වීදි ලාම්පු එලියට ඉඩ දී නිවෙස් වල විදුලි පහන් එකිනෙක නිවී යයි.

රාත්‍රී කාලයේදී නගරය එතරම්ම ජනාකීර්ණ නොවූවත්,  දිවා රාත්‍රී විවෘත "සිටි හාර්ට්" සාප්පු සංකීරණයේනම් කිසි විටෙකත් මිනිසුන්ගෙන් අඩුවක් නැත. නගරයෙන් පිටත රැකියා වලට ගොස් ආපසු එන්නන් සහ තැබෑරුම් වල කල් මරන පිරිමින්ගෙන්ද, රාත්‍රී සාද හමාර වී මං මාවත් දිගේ ඇවිදින පිරිස් වලින්ද විටින් විට රාත්‍රියෙහි නිහැඬියාව බිඳී යයි.

සිමෙන්ති ගල් ඇල්ලූ මාවත දිගේ මහ පාරට පැමිණි වෙරෝනිකා, සාප්පු සංකීර්ණය ඉදිරිපිට වූ අවන්හලෙන් උණුසුම් තේ කෝප්පයක් මිලදී ගෙන, අසල වූ එලිමහන් බංකුවක හරි බරි ගැසී වාඩි වූවාය. දුම්වැටියක්ද දල්වා ගත් ඇය තම බෑගය මඳකට බංකුවේ පසෙකින් තබුවේ කබාය සකසා ගන්නටය. කොහේදෝ සිට මතුවූ කෙසඟ කොලුවෙකු සැනෙකින් ඇගේ බෑගය රැගෙන වහා එතැනින් ඉගිලුනි. 

තැබෑරුමෙන් පිට වී මාවත  දිගේ ඉදිරියට ඇවිද එමින් සිටි සයිමන් දුටුවේ ගැහැණියගේ බෑගය උදුරා තමන් පසු කර යන්නට දිව එන කොලුවායි. හෙල්සිං නගරයේ ශරීර සුවතා මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ සයිමන්ය. ඔහු දිනපතාම තම අවසන් සේවා දායකයාත් පිටවූ පසු තැබෑරුමට ගොස් මඳ වේලාවක් ගත කරන්නට අමතක නොකරයි. පදමට මත් වී සිටියද, වහ වහා ක්‍රියාත්මක වූ සයිමන් බෑගය උදුරාගෙන දුවමින් සිටි කොලුවාව තම දෑතින් ග්‍රහණය කර ගත්තේ ඉහළ අහසේ සිට පියඹා විත් ක්ෂණයකින් තම ගොදුර ඩැහැ ගන්නා උකුස්සෙකු මෙනි.

බෑගය රැගෙන එය වෙරෝනිකා සිටි තැනට වීසි කරදැමූ සයිමන්, තරුණයාට දුන් වේගවත් පා පහරින් ඔහු වීසි වී ගොස් අසල වූ තාප්පයක ගැටී බිම ඇද වැටුනේය. වහ වහා එතනට දුවගෙන ආ වෙරෝනිකා, බිම වැටී සිටි කෙසඟ තරුණයා වෙතට පැමිණ ඔහු නැඟිට්ටවා ඔහුගේ මුහුණ දෙස බැලුවාය. ලැජ්ජාවෙන් බිම බලා ගත් තරුණයා අත මුදල් නෝට්ටු කිහිපයක් තැබූ ඇය, ඔහුට යමක් පවසා පිටත් කොට සයිමන් දෙසට හැරෙද්දී සයිමන් වික්ෂිප්තව සිදු වෙමින් පවතින දෙය දෙස බලාගෙන සිටියේ සිදු වන්නේ කුමක්දැයි ඔහුට තේරුම් ගැනීමට අසීරු වූ නිසාය.

කොලුවා පිටත් කර හැරි වෙරෝනිකා සයිමන් වෙතට පැමිණ වේගවත් අතුල් පහරකින් සයිමන්ට සංග්‍රහ කලේ ඔහුට කිසිත් සිතා ගන්නටවත් ඉඩක් නොතබමිනි.

" මොකක්ද ගෑණියේ උඹට වෙලා තියෙන්නෙ ? "
වෙරෝනිකාගේ අතින් දැඩිව අල්ලා ගත් සයිමන් තරහෙන් පුපුරමින් මොර දුන්නේ තරහවත් ලැජ්ජාවත් දෙකම මුසු වූ ආවේගයකිනි.

" මොකක්ද මිනිහෝ ඔහේ ඒ කරපු කැත වැඩේ ?" වෙරෝනිකා ප්‍රශ්නයකින්ම පිළිවදන් දුන්නාය.

සයිමන්ගේ අත ගසා දැමූ වෙරෝනිකා
" තමුන් මොහොතකටවත් හිතුවද ඒ අසරණ කොල්ලා ඇයි මගෙ සල්ලි උදුර ගන්න ඇත්තේ කියලා, සමහර විට බඩගින්නට වෙන්න පුළුවන්, එක්කො අම්මට, තාත්තට, දරුවට, එහෙම නැත්නම් බිරිඳට බේත් ටිකක් ගන්න. ඒත් ඔහේ ? ඔහේ මොකක්ද කලේ ? ඒ අසරණයට ගැහුව මහ වීරයෙක් වගේ. ඕක මහ ලොකු වීර කමක්ද ? " යි අසමින් තමන්ට කෑ ගසද්දී සයිමන් කුමක් කියන්නද, කරන්නදැයි සිතා ගන්නට නොහැකිව එදෙස බලා සිටියේ ය.

" මේ මොන විකාරයක්ද ? ඔහොමද තමුන් උදව්වක් කලාම සලකන්නෙ මිනිස්සුන්ට ? තමුන් මහ පුදුම ගෑනියක්. මෙතනින් තොලොංචි වෙලා පලයන් යන්ඩ" කියමින් සයිමන් වහා එතනින් පිටත්ව යන්නට සැරසෙද්දී නැවතත් ඔහුගේ අතින් අල්වා ගත් වෙරෝනිකා පහන් ස්වරයෙන් ඔහු අමතන්නට වූවාය.

" සමා වෙන්න මහත්මයා, ඔබ කරපු දේ මට උදව්වක් උනත්, අර කොල්ලා අසරණ වෙලා උන්න විදිය දැක්කම මට ආපු තරහටයි කෑ ගැහුවේ. මට නැති උණ මුදල සොයා ගන්න ලේසියි, නමුත් ඔහුට එහෙම ලේසියෙන් මුදලක් සොයා ගන්නට බැරුව ඇති. හරි අපි දැන් ඒක අමතක කරමු. මම වෙරෝනිකා, අර පහල වීදියෙ කොණේම ගෙදරයි මම ඉන්නෙ. අපි යමු,  කෝපි එකක් බොන ගමන් කතා කරන්න පුළුවන් අපිට. අසතුටක් නැත්නම් ඔබේ නම මට කියන්න පුළුවන්ද ?" ඇය සයිමන්ගෙන් ඇසුවාය.

සයිමන් තම හඬ අවදි කලේය.
" මම සයිමන්" කෙටි පිලිතුරකින් සංවාදය නිම කර එතනින් වහා පිට වෙන්නට ඔහුට වුවමනා වූ නමුදු වෙරෝනිකා ඔහුගේ අතින් අල්ලා ගත්තාය.

" හඳුනා ගන්න ලැබීම සතුටක් සයිමන්, එහෙනම් යමු අපි කෝපි එකක් බොන්න, මගේ ගෙදරින්" කියමින් ඉස්සර වූයේ ඔහුගේ කැමැත්ත අකමැත්ත පවසන්නටවත් ඉඩක් නොදෙමිනි.

දිගටි සිහින් මුහුණ, කැරලි ගැසුණු කොණ්ඩය, රතු සායමින් හැඩ වුණු දෙතොල, දේදුන්නක් වැනි දෙබැම, දිගු නැහැය.. වෙරෝනිකා තුළින් දිස් වූයේ අමුතුම සුන්දරත්වයකි. ඇගේ සුන්දරත්වය, ඇඳුම් පැලඳුම් වලින්ද මනාව ඔපමට්ටම් වී තිබුණි. මඳ වේලාවකට පෙරදී සිදු වූ දෙය කුමක් වූවත්, එවන් සුකුමාල රුවැත්තියකගෙන් ලද ආරාධනයක් නොසළකා හරින්නට සයිමන්ට හේතුවක් තිබුණේම නැත. මවක් පසුපසින් යන කීකරු ළදරුවකු මෙන් සයිමන් ඇගේ පසු පසින් පිය මනින්නට විය.

 නිවසේ දොරකඩට පැමිණ, අසල වූ මල් පෝච්චියක් යටින් යතුරු කැරැල්ල ගත් වෙරෝනිකා, දොරගුල කරකවා ගෙට ඇතුළු වී විදුලි පහන් දැල්වූවාය.  සයිමන්ද ඇගේ පසුපසින් ආලින්දයට ඇතුලු විය.

" වාඩි වෙන්න සයිමන්, මම අපි දෙන්නටම බොන්න කෝපි හදන්නම්, අපි කතා කරමු"
විසිත්ත වර්ණයෙන් හැඩ වූ කුෂන් කවර වලින් නිමවූ සෝෆාව එක් පසෙකින්ද, පවුලේ ඡායාරූප කිහිපයකින් සැරසුණු බිත්තිය තවත් පසෙකින්ද, එකම එක කපුරු මලක්  සහිත මල් බඳුනක් තැබූ කුඩා මේසයකින්ද  හැඩවූ ආලින්දයත්, නිවසේ මුළුතැන්ගෙයත් එකට ඈඳී තිබුණේ  අලංකාරව සැකසූ කුඩා පිවිසුමකිනි. එම කුඩා ඉඩෙහි පසෙක තැබූ ගෑස් උදුන මත වතුර පිරවූ කේතලය තැබූ වෙරෝනිකා කතාවට මුල පිරුවාය.

" සයිමන් මේ ලඟපාතමද ඉන්නෙ ?"
සයිමන් තවමත් පිලිතුරක් නොදීම සෝෆාවේ කොණක අසුන් ගත්තේය.

ඔහු දෙස හැරී බැලූ වෙරෝනිකා
" මොකද සයිමන් මේ කතා නැත්තෙ " යි ඇසුවාය.

" අහ්ම්, ඔවු, මම මීට ටිකක් එහායින් තියෙන ලෝරන්ස් පාරෙ තුන්වෙනි ගෙදර. වෙරෝනිකාගෙ ගෙදර වෙන කවුද ඉන්නෙ ? " සයිමන් තම පලමු පැනය ඇයට පිරිනැමුවේය.

" හ්ම්ම්, දැං මම අවුරුදු කීපයක් තිස්සෙ මේ ගෙදර තනියම ඉන්නෙ"
 ඇය පැවසුවාය.

" තවම කසාද බැඳල නැද්ද ?" සයිමන්ගේ දෙවෙනි පැනය, එය වෙරෝනිකා බලාපොරොත්තු වූ දෙවෙනි පැනයමද විය.

" නෑ, තවම එහෙම උවමනාවක් නෑ, මට පෙම්වතෙකුත් නෑ " ඇය පිළිවදන් දුන්නාය.

"අම්ම තාත්ත මොකද කරන්නෙ ? ඒ අය පිට රටක පදිංචියට ගිහින්ද ?" සයිමන් ඇසුවේ අවිවාහක සුන්දර තරුණියක් වූ වෙරෝනිකා මෙලෙසින් තනිව ජීවත් වීමට හේතුව දැන ගැනීමටඔහු තුළ වූ කුහුල නිසාමය.

මගේ අම්මා පුවත්පත් වාර්ථාකාරිණියක්. ඔබ අහලත් ඇති, නෙතලි ජෝන්ස්, කාන්තා අයිතීන් ගැන සහ පවුල් ජීවිත වල සාර්ථකත්වය ගැන ඇය බොහෝ ලිපි ලියනවා පුවත්පත් වලට. තාත්තානම් නීතීඥයෙක්. දික්කසාද වෙන අයට නීති උපදෙස් ලබාදීමට තමයි ඔහු ප්‍රසිද්ධම. ජෝර්ජ් විල්සන්"

සයිමන් ට කෝපි කෝප්පය පිලිගැන්වූ ඇය, තම කෝපි කෝප්පයද ගෙන ඔහුට පසෙකින් වූ අසුන මතට වැටුණාය.

"මගේ අම්මයි තාත්තයි මීට අවුරුදු 8 කට කලින් වෙන වුණා, දැන් අම්ම එයාගෙ අලුත් පෙම්වතාගෙ ගෙදර, ඒ දෙන්න තව ටික දවසකින් විවාහ වේවි. තාත්තනම් කලින් විවාහයෙ ලොකු දුව එක්ක ඉන්නෙ. ඔහු බොහොම විනෝදයෙන් ඉන්නව, එක පෙම්වතියක් එක්ක වැඩි කාලයක් ඉන්න පුරුද්දක්නම් ඔහුට නෑ" කියමින් වෙරෝනිකා සිනාසුණාය.

ඇගේ දෙමාපියන් ගැන ඇසූ දෙයින් මඳක් පුදුමයට පත් වූ සයිමන්ට ඇය ගැන දැනුණේ කණගාටුවකි.

" කසාද බඳින්න අදහසක් නැද්ද ඉතිං ? " සයිමන් ඇසුවේ වෙනත් යමක් විමසන්නට තරම් ඔහුට නොසිතුණු නිසාය.

" ම්ම්, නැත්තෙමත් නෑ, ඔයා වගේ කඩවසම් කෙනෙක් ලැබුණොත් මමත් කැමතියි කසාද බඳින්න. සයිමන් විවාහකද ?" ඇය ඇසුවාය.

" නෑ, මමත් තවම තනිකඩයෙක්, පෙම්වතියක් සොයන " හෙතෙම සිනා වෙමින් පිලිතුරු දුන්නේය.

"ඉතින් එහෙනම් සයිමන්ට පුළුවන් මට විවාහ යෝජනාවක් ගේන්න" වෙරෝනිකා කොක් හඬලා සිනාසුණාය.

" මගෙ අකමැත්තක් නෑ එහෙම යෝජනාවක් ගේන්න, ඒත් අපි තවම හරියට දන්නෙත් නැහැනෙ එකිනෙකාව, ටික කාලයක් අරගෙන ආශ්‍රය කරල අපි ඒ ගැන හිතමු, මොකටද හදිස්සි වෙන්නෙ" සයිමන් තරමක් බැරෑරුම් ලෙස කියමින් හිස් කෝප්පය පසෙකින් තැබීය.

" හෙල්සිං ටවුමේ ෆිට්නස් සෙන්ටර් එක මගේ, වෙරෝනිකා මොකද කරන්නෙ ? "

" මගේ රස්සාවද ? " ඇය ඇසුවේ සයිමන්ගේ දැස් තුළට එබෙමිනි.
මඳ වේලාවක් නිහඬව සිට, දිගු සුසුමක් පිට කල ඈ " මගේ රැකියාව දැන ගත්තමත් සයිමන් මේ දැන් පිලි ගන විදියටම මාව පිලි ගනීවිද ?" යි ඇසුවාය.

" කරන රැකියාව අනුව මිනිස්සුන්ව පහත් කියල හිතන මනුස්සයෙක් නෙමෙයි මම, ඇරත් වෙරෝනිකා දැක්කම අනුමාන කරන්න පුළුවන් කරනව ඇත්තෙ හොඳ රැකියාවක් කියලා" සයිමන් ඔහුට සිතුණ දෙය එලෙසින්ම කියා දැම්මේය.

හිඳගෙන උන් තැනින් නඟී සිටි වෙරෝනිකා බරාඳය දෙසට පියමැන්නාය. උළුවස්සට බරදී නැවතුණු ඇය පිටත බලාගෙනම හඬ අවදි කලාය.
" මම කරන්නෙ ලෝකෙ පරණම රස්සාව. ඔවු, මම වීදි ගණිකාවක් "

ඇගේ පිළිතුරින් වික්ෂිප්ත වූ සයිමන් විසල් දෑසින් මොහොතක් ඇය දෙස බලා සිටියේය.  ඉද්ද ගැසුවාක් මෙන් අසුනෙන් නැඟී සිටි ඔහු කිසිත් නොපවසාම, වෙරෝනිකා දෙසවත් නොබලා පිටවී යන්නට සැරසුණේය.

සයිමන් පිටවන මඟ අහුරාගෙන සිටි සුන්දර යුවතිය ඔහුට මුහුණලා සිටගෙන තදින් ඔහුගේ අත අල්වා ගත්තාය.
" සයිමන් මේ දැන් මොහොතකට කලින් කිව්ව නේද රස්සාවෙන් මිනිස්සු මනින්නෙ නෑ කියල. දැං මොකක්ද උනේ ?" ඇය සිහින් හඬින් ඇසුවාය.

" සල්ලි වලට මිනිස්සු එක්ක බුදියන එකියක් එක්ක ජීවිතේ ගෙනියන්ඩ මට උවමනාවක් නෑ ගෑණියේ, මට යන්ඩ දීපං" ඔහු කෑ ගැසුවේය.

" මිනිස්සු එක්ක යන්නෙ සල්ලි හොයන්න තමා, මොකද මම කැමති නෑ අම්මගෙන් තාත්තගෙන්වත් සල්ලි ඉල්ලන්න. මට පුළුවන් විදියට මම ජීවත් වෙනවා. මම හිතුවේ කවදා හරි මම මේක නවත්තලා කසාද බඳිනව කියල. ඊට පස්සෙ මගෙ සැමියට විතරක් අයිති, ආදරණීය බිරිඳක්, අපේ දරුවන්ට ආදරණීය අම්ම කෙනෙක් වෙන්නයි මට උවමනා වුණේ. මට ඔයා වෙනුවෙන් ඒක කරන්න පුළුවන් සයිමන් " වෙරෝනිකා පැවසුවාය.

" ඇයි උඹ මාවම මේකට පටලව ගන්නෙ, මට උවමනාවක් නෑ උඹ එක්ක කතා කරන්නවත් " සයිමන් ගුගුලේය.

ඔහුගේ ආවේගය ගැන වෙරෝනිකාට පුදුම වන්නට හේතුවක් නැත, යම්කිසි දවසක මෙයට මුහුණ වන්නට වන බව ඇය දැන උන්නත්, මෙ කිසිවක් සඟවා සහකරුවෙකු සොයා ගන්නට තරම් වංචනික සිතක් ඇයට තිබුණේ නැත.

" ඇයි සයිමන් මාව ප්‍රතික්ෂේප කරන්නෙ ? මගෙ හිත පුරාම ආදරය කරන්න ඉඩ තියෙනව, මම කවදාවත් කාටවත්ම ආදරය කරල නෑ"
ඔහුගේ මුහුණට එබෙමින් ඇය පැවසුවාය.

ඇයව පසෙකට කල සයිමන්
"උඹ හිතුවද මම හුජ්ජ බරට බිජ්ජ කෙලින පොඩි එකෙක් කියලා " යි කෝපයෙන් වෙව්ලමින් ඇසීය.

සයිමන්ගේ එවදනින් වෙරෝනිකාට ඇති වූයේ කේන්තියකි.
" පොඩි එවුන්නම් හුජ්ජ බරටවත් බිජ්ජ කෙලිනව, උඹ ඒකත් බැරි පොන්නයෙක් මිනිහෝ " වෙරෝනිකා පැවසුවේ අවඥාසහගත සිනාවක් මුවඟ රඳවාගෙනය.

තමන් වැටුණේ කුමන අවුලකදැයි සිතා ගන්නට නොහැකි වූ සයිමන් දෑතින්ම හිස බදාගෙන අසල වූ බිත්තියකට වාරු විය. මඳක් සයිමන්ගෙන් මෑත් වූ වෙරෝනිකා සිහින් හඬින් නැවතත් ඔහු ඇමතුවාය.

" සයිමන්, ඔයාට පේනවද අතන තියෙන කපුරු මල." පසෙකින් වූ කුඩා මේසය මත වූ මල් බඳුන පෙන්වමින් ඇය ඇසුවාය.

" ඔවු" සයිමන් කෙටි පිලිතුරක් දී නිහඬ විය.
" ඒක ලස්සනයිද සයිමන් " වෙරෝනිකා නැවතත් ඇසුවාය.

" ඔවු , ලස්සනයි, ඒක ලස්සනයිද කියල අහන්නත් දෙයක්ද " හෙතෙම පිලිතුරු දුන්නේ කෙසේ හෝ මිදී යන්නට වූ උවමනාව සිතේ තබාගෙනය.

"ඒක මට පොඩි කාලෙ අම්මයි තාත්තයි කානිවල් එකකදි අරන් දුන්න එකක්. මගෙ අම්මයි තාත්තයි මමයි සතුටින් උන්න දවසක් ඒක, ඒ දවස මතක් වෙන්නත් එක්ක මම ඒ මල මගෙ ලඟම තියා ගන්නවහැමදාම, සයිමන් දන්නවද දෙයක් ?" වෙරෝනිකා සයිමන්ගේ දෑත් අල්වාගෙන ඔහුට ලං වූවාය.

" මොකක්ද ? " සයිමන්ගේ මුවින් එවදන් පිට වූයේ දිගු සුසුමක්ද සමඟිනි. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. වෙරෝනිකා වැනි සුන්දර සරාගී යුවතියක දෑතෙහි පැටලෙමින් ලං වෙද්දී එසේ නොවන්නේනම් එය පුදුමයකි.

" ඔය කපුරු මලේ පෙති ගොඩාක් තියෙනව. හැබැයි කිහිප වතාවක් ඔය මලෙන්  පෙති කීපයක්ම හැලුන, ඒත් කාටවත් කියන්න බෑ පෙති අඩුයි කියල, පෙත්තක් දෙකක් අඩුයි කියල මලේ ලස්සන අඩුවක් වෙලාද සයිමන් ?" වෙරෝනිකා සයිමන්ගේ සිරුරෙහි දැවටුණාය.

ගත වෙලා ගන්නා උණුසුම් පහසින් මත් වී ගිය ඔහුට විදුලියක් තම සිරුර පුරා දුවන්නාක් මෙන් දැනෙන්නට විය. සයිමන්ගේ දෑත් ඔහුටත් නොදැනීම වෙරෝනිකාගේ බඳ වටා වෙලී තිබුණි. සිතට අවනත වනු හැර වෙනත් කිසිවක් ඔහුට අවැසි වූයේ නැත. වෙරෝනිකාගේ සුසුම් වල උණුසුමෙන් සියොලඟම හිරි වැටී යද්දී  සයිමන් ඇයව තදින් වැලඳගෙන උණුසුම් හාදුවකින් ඈ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය.

3 comments :

  1. කාලෙකින් ලියලා ...ඇති යන්තම්...නොලියා ඉන්න එපා ...ඉඩක් අරන් ටික ටික හරි ලියන්න...පසුව පෝස්ට් කරන්න බලාගෙන හරි...

    මේ කතාව අපූරුයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි, මේ අගය කිරීම් ලොකු දිරි ගැන්වීමක්

      Delete
  2. සමාජ කතිකාවතක් චරිත කිහිපයක සූක්ෂමව ඇහිරූ හැටි හරි අපූරුයි.දෙමව්පියො මොන තරම් තාන්න මාන්න උසස් නිළතල රැකියා කලත් වැඩක් නැහැ තමන්ගෙ පවුල හදාගන්න බැරිනම්.එහෙම උනාම තමයි මේ වගේ ⁣තවත් වෙරෝනිකාලා බිහිවෙන්නෙ.අම්මගෙ තාතිතගෙ යුතුකම වගකීම මොකද්ද කියන එක මතක් කරදෙන විවරණයක්.ස්තූතියි තුසිත සමාජ පැතිකඩක යතාර්ථය විවර කලාට.

    ReplyDelete