Saturday, December 17, 2016

අපූරු තෑග්ග ( සත්‍ය සිදු වීමකි )

ඇය පාසලට අලුතින් ආපු නැටුම් ගුරුතුමිය. වැඩි දවසක් නෑ අලුත් පත්වීම භාරගෙන. දුෂ්කර පලාතක තිබෙන පාසලක් නොවුණත්, මේ පාසලේ පහසුකම් සහ දරුවන්ගෙ අධ්‍යාපන මට්ටම පවතින්නෙ සාපේක්ෂව පහල මට්ටමක. ඒ වගේම තමයි මේ පාසලේ ලමුන්ට කවදාවත්ම වේදිකාවක් උඩ දස්කමක් දක්වන්න අවස්ථාවක් ලැබිල තිබුනෙ නෑ. අලුතින් ආපු නැටුම් ගුරුතුමීට ලොකු ආසාවක් තිබුන මේ දරුවන්ට ඒ අවස්ථාව හදල දෙන්න. ඇය විදුහල්පති තුමියත් එක්ක සාකච්ඡා කරල වැඩේ පටන් ගත්තත්, අවුරුදු දෙකක් පමණ හරියාකාරව නර්තන විෂයයට ගුරුවරයෙක් නොහිටපු පාසලේ දරුවන්ට තාලයකට චලනය වීම ඉගැන්වීමත් ලොකු අභියෝගයක් උනා. ඇයට උවමනා උනේ පාසලේ හැම දරුවෙකුටම වේදිකාව මත දස්කම් දක්වන්න අවස්ථාව දෙන්න.

ඔය අතරෙ, 3 පන්තියෙ උන්න හරි අපූරු පුංචි ගැහැණු ළමයෙක්. ඇය පාසල් වෙලාවෙ වැඩිපුරම කරන්නෙ තනියම අඬන එක. පන්ති භාර ගුරුතුමියටත් එය සාමාන්‍ය දෙයක් වෙලා. දෙමාපියන් එය ගණන් ගන්නෙත් නෑ. අඩුම තරමෙ මේ කිසිම කෙනෙක්ට උවමනාවක්, උනන්දුවක් තිබිල නෑ මේ පුංචි දැරිවි අඬන්නෙ ඇයි කියන එකට එයට හේතුවක් හොයන්නවත්. අලුත් නැටුම් ටීචර් මේ පුංචි කෙල්ලව නැටුමකට තෝර ගත්තම පන්ති භාර ගුරුතුමිය කිවුවෙ ඔය වැඩේනම් හරි යන්නෙ නෑ කියල. මොකද ඇය දන්නෙ අඬන්න විතරක් නිසා. ඒ උනාට අලුත් නැටුම් ටීචර්නම් කිවුවෙ වේදිකාව උඩ අඬ අඬ ඉන්න හරි තමන් ඇයව අනිවාර්යයෙන්ම සහභාගී කරව ගන්න බවමයි.

ඔන්න ඉතින් අර පුන්චි කිරිල්ලිත් ආව අනිත් යාලුවොත් එක්ක නැටුම් පුහුණුවට. අනිත් ළමුන් බොහොම අපූරුවට බෙර පද තාලයට, සංගීත රිද්මයට නැටුම් පුහුණු වෙද්දි ඇය මොකද දන්නවද කලේ, ඇයත් බොහොම අපූරුවට තාලයට කකුල් පොඩි තබමින් ඉඟ සුඟ පද්දමින් මුහුන පුරා හිනා වේගෙන අපූරු රටා මවමින් හරි හරියට නැටුම් පුහුණු උනා තමන්ගෙ යහළු යෙහෙලියන් එක්ක. ඇයට වෙනද වගේ අඬන්න අමතක වෙලා තිබුණා.

ඉතින් මේ පුන්චි සමනලීටත් හරිම සතුටුයි. ඇය පාසල් ඇරිල ගෙදර ගියෙත් හරිම සතුටින්. ඇයගෙ හිතේ තිබුණා හරි අපූරු ආශාවක්. පොත් බෑගය පැත්තකට දාපු ඇය, කඩදාසි කොල කීපයක්, පාට කූරක්, පැන්සලක් අරගෙන සුදු ගවුම පිටින්ම ලහි ලහියෙ ලොකු වැඩක් පටන් ගත්ත. කොටින්ම කියනවනම් ඇයට කෑමක් බීමක් ගැනවත් මතකයක් නෑ. එදා රෑ ඇය නින්දට ගියෙ පහුවදා උදෙන්ම නැඟිටල ඉස්කෝලෙට දුවන්න හිතේ තියාගෙන. නැටුම් ටීචර්ගෙ හිනාව, ටීචර් නැටුම් උගන්වන හැටි, යාලුවො එක්ක නැටුම් පුහුණු වෙන හැටි ඇයට හීනෙනුත් පෙනුන.

පහුවදා උදෙන්ම ඇය පාසලට ආපු ගමන් දිවුවෙ නැටුම් ටීචර් ගාවට. හිමින් සීරුවෙ නැටුම් ටීචර් ගාවට ඇවිදින් සාරි පොටේ දැවටෙන ගමන් ඇය ටීචර්ගෙ මූන දිහා බලල හිනා උනේ හරියට හිමිදිරි උදෑසනක සීතල පිනි කැට අතරින් පුංචි මල් පොහොට්ටුවක් පෙති විහිදගෙන පිබිදෙන තරම් සිරියාවකින්. එහෙම හිනා වෙන ගමන් ඇය හිමීට ටීචර්ට මෙහෙම කිවුව.

"ටීචර්, මම ඔයාට තෑග්ගක් ගෙනාව. දෙන්නද ?"
ටීචර්ට හරි පුදුමයි. තෑග්ගක් ? මේ ලමය මොනවද මට අරන් ඇවිත් තියෙන්නෙ. ටීචර්ට හිතා ගන්න බෑ. ලමයින්ගෙන් කොහොම තෑගි ගන්නද , අධ්‍යාපන ඇමති තුමාම තහනම් කරල තියෙද්දි. ඇය කල්පනාවකට වැටුන නිමේෂයකට. ඒ අතරෙ අර පුන්චි මල් කැකුලිය ආයෙමත් ටීචර්ට කතා කරනව.
"ටීචර් මේ තැග්ග මම ඔයාටමයි හැදුවෙ. මේක නැති කර ගන්න එහෙම එපා. හැමදාම තියා ගන්න. "

එහෙම කියන ගමන් ඇය අරගෙන ආපු තෑග්ග ටීචර්ගෙ අතේ තැබුව. එක අකුරක්වත්, වචනයක්වත් නැති ඒ තෑග්ග ඇතුලෙ දරුවෙකුගෙ අහිංසක, සුන්දර හැඟීම් ගොන්නක් එක්ක ලොකු කතාවක් තිබුන. ටීචර්ගෙ ඇස් දෙකට කඳුළක් ආවෙ ඇ‍යටත් නොදැනීමයි. සාරි පොටෙන් කඳුළු පිහින ගමන් ඇය තෑග්ග තමන්ගෙ බෑග් එකට දාල අර පුංචි දෝණිව ආදරෙන් තුරුළු කර ගත්ත .




2 comments :

  1. හරිම සංවේදී කතාවක්...දරුවන් මල් වගෙයි...මම අදහන දේ ඒකයි...ඒත් බොහොමයක් වැඩිහිටියන්ට නොතේරෙන්නෙත් ඒකයි..මේ බ්ලොග් එක සින්ඩිකේටර් වලට දැම්මොත් මොකද මං අහන්නේ...අනික බ්ලොග් ෆලොවර්ස් ගැජට්ටුව එල්ලන්න...කට්ටියට ඔයාව පේන්නෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. ෆලෝවර්ස් ගැජට්ටුවනම් දැම්මා, බ්ලොග් සින්ඩිකේටර්ස් වලට දාන්න ටිකක් නිදහසේ වෙලාව වෙන් කර ගන්න ඕන, ඒකත් ඉක්මනින් කරන්නම්. ස්තූතියි දැනුවත් කිරීමට

      Delete